National

36 වැනි ජාතික යෞවන ක්‍රීඩා උළෙල ඔක්තෝබර් 30,31 හා නොවැම්බර් 01 වෙනිදා දියගම දී….

36 වැනි ජාතික යෞවන ක්‍රීඩා උළෙල ඔක්තෝබර් 30,31 හා නොවැම්බර් 01 වෙනිදා දියගම දී….
  • PublishedOctober 22, 2026

ජාතික තරුණ සේවා සභාව සහ යෞවන සමාජ සම්මේලනය එක්ව සංවිධානය කරන 36 වැනි ජාතික යෞවන ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවය ඔක්තෝම්බර් 30 වැනිදා පස්ව‍රු 3.00 ට දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට සියලු කටයුතු සැලසුම් කර තිබේ. ජාතික යෞවන ක්‍රීඩා උළෙල ඔක්තෝබර් 30,31 හා නොවැම්බර් 01 වැනිදා යන තෙදින පුරා පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

මෙම ක්‍රීඩා උළෙල පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම වෙනුවෙන් මාධ්‍ය හමුවක් අද (22දා) ජාතික තරුණ සේවා සභාවේ දී පැවැති අතර ඊට තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක මහතා, ජාතික තරුණ සේවා සභාවේ සභාපති/ අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සුපුන් විජේරත්න මහතා,ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනයේ සංවිධායක රවිඳු ඉන්දීවර මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

මෙවර යෞවන ක්‍රීඩා උළෙලේ සමාරම්භක අවස්ථාව සභානායක, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්, ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න, ජාතික තරුණ සේවා සභාවේ සභාපති / අධ්‍යක්ෂ ජනරාල් නීතීඥ සුපුන් විජේරත්න යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතය.

සමාප්ති උළෙල නොවැම්බර් 01 වැනිදා පස්වරු 4.00 ට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට සැලසුම් කර ඇත.

ජාතික තරුණ සේවා සභාව වාර්ෂිකව ක්‍රියාත්මක කරන ජාතික යෞවන ක්‍රීඩා උළෙල ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් Youth Clubs හා සම්බන්ධ වී සිටින සාමාජිකයින් අතරින් දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාතික මට්ටම දක්වා රැගෙන ඒමට ප්‍රවේශයකි.

සියලුම තරග සඳහා ලංකාවේ ක්‍රීඩා උළෙලකදී ලබාදෙන වැඩිම මුදල් ත්‍යාග ලබාදෙන ක්‍රීඩා උළෙල ද මෙය වේ.

ජාතික යෞවන ක්‍රීඩා උළෙල යනු වාර්ෂික ක්‍රීඩා තරගාවලියකට පමණක් සීමා වූ වැඩසටහනක් නොවන අතර, එය ශ්‍රී ලංකාවේ තරුණ ප්‍රජාව ක්‍රීඩාව වෙත යොමු කිරීම, ඔවුන්ගේ දක්ෂතා හඳුනාගැනීම සහ ක්‍රීඩාව ජීවන සංස්කෘතියේ කොටසක් බවට පත් කිරීම සඳහා ක්‍රියාත්මක වන වැදගත් ජාතික වැඩසටහනකි.

මෙම තරගාවලියේ සමස්ත ශූරතාවය සඳහා ලක්ෂ දෙකක් ද, අනු ශූරතාවය සඳහා එක් ලක්ෂ පනස් දහසක් ද, තුන්වන ස්ථානය සඳහා ලක්ෂයක් ද, දක්ෂතම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාවට ලක්ෂ 10 බැගින් ද, යෞවන ක්‍රීඩා වාර්තාවක් සඳහා රුපියල් දස දහසක් ද, ශ්‍රී ලංකා වාර්තාවක් සඳහා රුපියල් ලක්ෂයක් ද, මැරතන් තරගයේ ස්ථාන 10 ක් සඳහා මුදල් ත්‍යාග ද, කණ්ඩායම් තරග ශූරතාවය වෙනුවෙන් තුන් ලක්ෂ පනස්දහසක් ද, අනුශූරතාවයට ලක්ෂ තුනක් ද, තුන්වන ස්ථානයට ලක්ෂයක් ද, කැරම් ඒකල හා යුගල තරගයේ පළමු, දෙවන හා තෙවන ස්ථාන සඳහා මුදල් ත්‍යාග ද, බීච් වොලිබෝල් (කාන්තා/පිරිමි) ශූරතාවය සඳහා රුපියල් පහළොස් දහසක් ද, අනුශූරතාවය සඳහා රුපියල් දොළොස් දහසක් ද, තෙවන ස්ථානයට දස දහසක් ද පිරිනැමේ.

මෙවර සහභාගික පාසල් තූර්‌ය වාදක කණ්ඩායම් අතරින් හොදම ඉදිරිපත් කිරීම වෙනුවෙන් ප්‍රථම ස්ථානය සදහා රුපියල් ලක්ෂයක් ද, දෙවන ස්ථානය සඳහා රුපියල් හැත්තෑපන් දහසක් ද, තෙවන ස්ථානය සඳහා පනස් දහසක් ද, ලබා දීමට කටයුතු යොදා ඇත.

ජාතික යෞවන ක්‍රීඩා උළලේ අවසන් දිනය වන නොවැම්බර් මස පළමු දින රාත්‍රියේදී ජනප්‍රිය තරු පිරිවරා සංගීතප්‍රසංගයක් හෝමාගම නගරයේ පැවැත්වීමට ද කටයුතු සංවිධානය කෙරෙමින් පවතින බවයි ජාතික තරුණ සේවා සභාව ප්‍රකාශ කළේ.