National

ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලැබූ අපූරු ගුරුවරයා… අසෝක ගුණතිලක.

ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලැබූ අපූරු ගුරුවරයා… අසෝක ගුණතිලක.
  • PublishedNovember 14, 2026

ඔලිම්පික් ලොව සැරිසරා, කතුවර ලොවේ ඔල්වරසන් නැගූ, ක්‍රීඩා මාධ්‍ය ලෝකයේ නිහඩ විප්ලවයක පෙර ගමන්කරු අසෝක ගුණතිලකයන් පසුගියදා පැවති “ජනමාධ්‍ය විශිෂ්ටතා” සම්මාන උලෙලේදී ජීවිතයේ එක් වරක් පමණක් කෙනෙකුට පිරිනමන ඇගයුම් සම්මානයෙන් පිදුම් ලැබුවා. එතුමන් වෙනුවෙන් සහෝදර මාධ්‍යවේදී ඉන්ද්‍රජිත් සුභසිංහයන් ලියූ අපූරු සටහනක් “කෙලිසර” වෙනුවෙන් එක් කර ගන්නේ එතුමන්ට කරන ගෞරවයක් ලෙසින්….

ක්‍රීඩා මාධ්‍යයේ යශෝ නාමය – අසෝක ගුණතිලක

තමන් උදෙසා ජාතික පුවත්පතක මෙවැනි තීරුවක් වෙන්කරගන්නට පුද්ගලයකුට හැකියාව මෙන්ම වාසනා ගුණයද තිබිය යුතුය. ‘හැකියාව’ යන්න උත්සහයෙන් උද්දීපනය කරගත හැකි යමක් වන්නා සේම ‘හැකියාව’ උපදින්නේ ‘වාසනා ගුණය’ යනු තිඹිරිගෙය තුළය.

‘අසෝක ගුණතිලක’ යනු මෙකී හැකියාවද, වාසනා ගුණයද මිටින්ගෙන ක්‍රීඩා මාධ්‍ය ක්ෂේත්‍රයේ සැරිසැරූවෙකි. වසරක් දෙකක් නොව, දශක හතරකට අධික කාලයක් පුරා මෙරට ක්‍රීඩා මාධ්‍ය ක්ෂේත්‍රයේ ‘අසෝක ගුණතිලක’ නමින් සශ්‍රීක විජිතයක් ගොඩනැගීමට හෙතෙම සමත් විය.

එනිසාම ඉකුත්දා පැවැති 27 වැනි ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උළෙලේදී ජීවිතයේ එක් වතාවක් පමණක් පිදෙන ගෞරව සම්මානයෙන් ඔහු පිදුම් ලැබීය.

දෙයක් වේ නම් යම් සුදුස්සාටම අයිති විය යුත්තේය. ඒ සිදුවූයේ එයමය. ඔහු පිළිබඳව මෙවැනි සටහනක් තැබීම පිණිස ආසන්නම නිමිත්ත වූයේ ද එයය.

‘දිවයින’ කර්තෘ මණ්ඩලයේදී දශක එකහමාරක පමණ කාලයක් ඇස් මානයේ ‘ගුරුවරයකු’ ලෙසින් ඔහු ඇසුරු කරන්නට ලැබුණු හෙයින් ඔහු ගැන මෙවැනි සටහනක් තැබීමට මා හට පූර්ණ සුදුසුකමක් ඇතැයි සිතමි. එසේම ඔහු ගැන තැබෙන මේ සටහන, තවත් එක් ‘ගුරු පූජාවක්’ නොව, ක්‍රීඩා මාධ්‍ය ක්ෂේත්‍රයට පිවිස සිටින මෙන්ම මත්තෙහි පිවිසීමට නියමිත මාධ්‍යවේදීන්ට පවා ‘ගුරු කරගත හැකි’ කරුණු ඔහුගේ චරිතය ඇසුරින් ඉදිරිපත් කිරීමක් ද වනු ඇතැයි සිතමි.

එබැවින් මට මමම වී, මා දුටු ‘අසෝක ගුණතිලක’ ගැන කියන්නට අවසර….!!!

මාගේ දැනුමට අනුව, මෙරට ක්‍රීඩා මාධ්‍ය ක්ෂේත්‍රෙය් වැඩිම ජාත්‍යන්තර වාර්තාකරණ අත්දැකීම් ඇති මාධ්‍යවේදියා ඔහු විය යුතුය.

1988 ‍සෝල්, 1992 බාසිලෝනා, 1996 ඇට්ලන්ටා, 2000 සිඩ්නි, 2008 බෙයිජිං සහ 2012 ලන්ඩන්… ආදී වශයෙන් ඔලිම්පික් උළෙල 6ක් එහි ගොස් වාර්තා කිරීමට ඔහු භාග්‍යවන්ත විය. (ඇට්ලන්ටා ඔලිම්පික් උළෙලේ මාරක බෝම්බයක් පුපුරා යද්දී විනාඩියක දෙකක එහා මෙහාවීමකින් නිරුපද්‍රිත වීමටද ඔහු භාග්‍යවන්ත විය) එමතු නොව ආසියානු ක්‍රීඩා උළෙල පොදු රාජ්‍ය්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල ගණනාවක්, මෙන්ම දකුණු ආසියානු ක්‍රීඩා උළෙල ගණනාවක්ද පාපන්දු ආදී ක්‍රීඩාවල ජාත්‍යන්තර තරගාවලි රැසක්ද ආදී වශයෙන් රටවල් විස්සකට අධිකව සැරිසරා දෙස් විදෙස් ක්‍රීඩා වාර්තාකරණයේ කෙළ පැමිණි චරිතය ඔහු විය.

ඔහුගේ විශේෂත්වය වනුයේ මෙවැනි වාර්තාකරණ කටයුතුවල යෙදෙද්දී ‘මාධ්‍ය හැඳුනුම්පත’ ගෙලෙහි එල්ලාගත්, තරග ප්‍රතිඵලය පමණක් වාර්තාකරන්නකු බවට පත් නොවී, තරග ප්‍රතිඵලය ‘තිතටම’ විශ්ලේෂණය කිරීමට තිබූ හැකියාවයි. ඔහුගේ සුවිශේෂත්වය වනුයේ එකී වාර්තාකරණයේදී තරග ප්‍රතිඵල විශ්ලේෂණයෙන් ඔබ්බට ගොස් අනෙක් කිසිදු මාධ්‍යවේදියකුට සොයාගත නොහැකි අතිරේක කරුණක් සොයාගැනීමට තිබූ හැකියාවය.

මාධ්‍ය වාර්තාකරණයේදී මෙයට කියනුයේ ‘something extra’ (සම්තින් එක්ස්ට්‍රා) කියාය. මෙලෙස අන් සැවොම ඉක්මවා වාර්තාකරණයේ ‘කප් ගැසීම’ පිණිස එලෙස අතිරේක යමක් සොයාගැනීමට අසෝක ගුණතිලක තරම් දක්ෂයෙක් අප ක්‍රීඩා මාධ්‍ය ක්ෂේත්‍රයේ නොවීය.

සුසන්තිකා ජයසිංහ සිඩ්නි ඔලිම්පික් හී පදක්කම දිනන විටද, ඇට්ලන්ටා ඔලිම්පික් මූලික වටයේදී සුගත් තිලකරත්න හමුවේ ලෝක ශූර මයිකල් ජොන්සන් දෙවැනි වන විටද, උසේන් බෝලට් ලෝක ඉතිහාසයේ වේගවත්ම මිනිසා බවට පත්වන විටද එකී තරග ඇස් ඉදිරියේ නැරඹීට පමණක් නොව, ප්‍රතිඵලයෙන් ඔබ්බට ගොස් ‘සම්තින් එක්ස්ට්‍රා’ සොයාගැනීමටද හෙතෙම භාග්‍යවන්ත විය. දක්ෂ විය.

“හොඳ වාර්තාකරණයක රහස තමයි හොඳට ‘හෝම් වර්ක්’ කරලා යන එක’’ යැයි ඔහු වරෙක මට අමිල උපදෙසක් දුන් අයුරු මේ සටහන තබන මොහොතේ සිහියට එන්නේය.

ඔහු කුමන තරගාවලියක් වාර්තාකිරීමට ගියද, එයට මාස දෙක තුනකට පෙර පටන් මෙකී ‘ගෙදර වැඩ‘ කිරීම අරඹන්නේය. එම තරගාවලි ඉතිහාසය. එහි ජයග්‍රහණය සඳහා වැඩි සම්භාවිතාවක් සහිත චරිත. එකී චරිතවල අතුරු පැතිකඩ. තරගාවලියේ පෙරළිකාරයන් විය හැක්කේ කවුරුන්ද… ආදිය පමණක් නොව තරග සංවිධානයේ සුවිශේෂිතා හෝ දුර්වලතා ආදිය ගැන පවා ඔහු දැවැන්ත පූර්ව අධ්‍යයනයක යෙදෙන්නේය. අන්තර්ජාලය හෝ කෘතිම බුද්ධිය නොවූ එවන් වකවානුවක මෙවන් අධ්‍යයනයක් සඳහා කෙතරම් කැපකිරීමක් කරන්නට සිදුවනු ඇති දැයින් ඔබ මොහොතකට සිතා බලන්න.

එහෙත් එම කැපකිරීම නිසාම, අදාළ තරගාවලිය හෝ ක්‍රීඩා උළෙලේ ඇරැඹුමට දින කිහිපයකට පෙර සිට එය සමාප්ත වී දින කිහිපයක් ගතවනතුරුද ‘අසෝක ගුණතිලක විසිනි‘ යන නමින් නොකඩවා පුවත් ගලන්නේය.

ඔහුගේ සුපිරි හැකියාව වූයේ පුවත පමණක් නොව, විශේෂාංග කලාවේ බහා එය වෙනත් අයුරකින් ඉදිරිපත් කිරීමට හැකිවීමය. මෙරට සිංහල මාධ්‍ය‍යේ ක්‍රීඩා විශේෂාංග කලාවේ පිකාසෝ ඔහු විය. ඔහු විශේෂාංගයක් ලිවීමේදී එහි ප්‍රෙව්ශය ලබාගන්නා යුරු, එම ලිපිය ගලාගෙන යනයුරු, එය මනරම් අවසානයක් කරා ගෙන යනයුරු යනු එක හුස්මට කියවා අවසන් කිරීමට අපට කරන ‘අකුරු වශියක්’ විය.

එමතු නොව ක්‍රීඩාවේ ඔහුගේ ගවේෂණාත්මක වාර්තාකරණය අපව විශ්මයට පත්කළේය. තමන් හා අල්ලාප සල්ලාපයක යෙදෙන ක්‍රීඩා ක්ෂේත්‍රයේ පරිපාලකයකුගේ මුවින් නොදැන පිටවුණු වදනක් සිය තියුණු ඉවෙන් ග්‍රහණය කර, ඒ පසුපස හඹාගොස්, රට කලඹන පුවතක් මතුකරගැනීමේ හැකියාව අසෝක ගුණතිලකයන් සතුවිය.

ඔහු ගුරුවරයෙක් ලෙසින් මේ සියල්ල ගුරු මුෂ්ටියකින් තොරව අපට කියාදුන්නා පමණක් නොව, මාධ්‍ය ක්ෂේත්‍රයේ ගුණධර්මද පියකුගෙන් පුතකු හට ලබාදෙන දායාදයක් සේ අපට ලබාදුන්නේය.

“කවදාවත් තමන්ගෙම ක්ෂේත්‍රයට කෙනෙක්ට පහර වදින දෙයක් පත්තරේ ලියන්න එපා’’ ඔහු ලබාදුන්නේ මාධ්‍යයේ විශ්වසනීයත්වය, ගරුත්වය, සහෝදරත්වය ආදී සියල්ල උදෙසා හේතුවන උපදෙසකි.

“මාධ්‍ය සාකච්ඡාවකට ගියාම ඉස්සරහම පුටුවක වාඩිවෙන්න. හොඳම ප්‍රශ්නය අහන්න සූදානම් වෙලා යන්න. තරහ ගන්නෙවත්, තරහ ගස්සන්නෙවත් නැතිව ප්‍රශ්නය ඉදිරිපත් කරන්න. නිව්ස් එක ගන්න යකාගේ කටට ගියත් ගුටි නොකා එන්න දක්ෂ වෙන්න’’ ආදිවශයෙන් එදා ඔහුගෙන් ලැබුණු උපදෙස් මේ දැනුදු දෙසවන් අතර රැව් පිළිරැව් දෙන්නේය.

පුවත්පත් වාර්තාකරණය පමණක් සීමා නොවූ අසෝක ගුණතිලකයන්, අපූර්ව ක්‍රීඩා සාහිත්‍යයක් ද ‘ඔලිම්පික් හරසර’ ‘ඇතැන්ස් සිට රියෝ දක්වා’ මෙන්ම ‘ඉංග්‍රීසි සිංහල ක්‍රීඩා ශබ්දකෝෂය’ ආදී තමා විසින් රචිත ග්‍රන්ථ හරහා අපට උරුම කර දුන්නේය.

මේ වාර්තාකරණය හා රචනය හේතුවෙන් ජනාධිපති ක්‍රීඩා සම්මානයේ සිට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සම්මාන දක්වා ඇගයීම් හිමිකර ගත්තේය.

ලේක්හවුසියේ සිට, සමාරම්භක ක්‍රීඩා කර්තෘ ලෙසින් ‘දිවයින’ කර්තෘ මණ්ඩලය හා එක්ව, එහි සම කර්තෘ ලෙසින් විශ්‍රාමගන්නා දවස දක්වා ඔහු ‘හඬෙන්’ නොව ‘වැඩෙන්’ තමා කවුරුන්දැයි ඔප්පු කළ අයෙක් විය.

කාර්යාලයේ සිය මේසය මත කුමන හෝ විෂයකට අදාළ වූ සිංහල හෝ ඉංග්‍රීසි ග්‍රන්ථයක් සැමවිටම විය. පෑන පසෙකින් තැබූ හැම විටම සිය අසුනට බරදී සිටින ඔහුගේ අතෙහි ඒ ග්‍රන්ථය රැඳුනි. අසෝක ගුණතිලක නමැති සකලවිධ දැනුමින් පිරිපුන් චරිතය ගොඩනැගුණේ මේ පොත්තුළ වූ ‘පෝෂණයෙන්’ යැයි සිතමි.

සිංහලෙන් ඉංග්‍රිසියෙන් යන දෙකෙන්ම වචනයෙන් ඇති තරම් හරඹ කිරීමට පමණක් නොව, මගේ දැනුම නිවැරදි නම් දෙමළ භාෂාව පිළිබඳවත් ඔහුට යම් පමණක දැනුමක් විය.

ඔහුගෙන් යමක් සොරකම් කිරීමට හැකිනම් මම සොරකම් කරනුයේ ඒ සියලු හැකියාවන් අතරින් කැපීපෙනුණු ඔහුගේ පෞරුෂයයි.

කිසිදු සොර සිතක් නැත්තෙකුට වුව, සොරකම් කිරීමට තරම් සිතෙන දෙයක් ඔහු සතුවී නම් ඒ ඔහු සතු දැවැන්ත පෞරුෂයයි.

මාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසීමට පෙර ගුවන් හමුදා සේවයේදී ලද පරිචය හරහා එම පෞරුෂය ගොඩනැගුණා විය හැකිය. ඒ කටහඬේ ඇති බර, ඒ වැඩවලද විය. තැනට සුදුසු ලෙස හැඳ පැලඳි ඔහු, කාර්යාලයට පැමිණියේ එයටම ඔබින ලෙස පිළිවෙළ සහිත ‘මහත්තැන්’ කෙනෙකු මෙනි. කාර්යාලීය නිවාඩු දිනකදී පැවැත්වෙන ක්‍රීඩා තරගයක් වාර්තා කිරීමට පැමිණියේ ඩෙනිම් කලිසමට ටී ෂර්ටය යටකර එයට ඔබින සපත්තුද පැලඳය. ඔහු හැම විටම පිරිසක් අතරේ කැපී පෙනෙන, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ‘ජෙන්ට්ල්මන්’ විය.

මේ ක්‍රීඩා මාධ්‍ය ක්ෂෙත්‍රයේ මට වැඩි දක්ෂ ගෝලයන් ඔහුට මුණ ගැසෙන්නට ඇති නමුත් මට මේ ක්‍රීඩා මාධ්‍යයේ මුණගැසුණු දක්ෂතම ගුරුවරයා ඔහු විය.

ක්‍රීඩා මාධ්‍ය නම් අම්බරයේ අප තරු නම් පුන් සඳ ඔහුම විය.

‘එක පුන් සඳින් දුරුවෙයි ලොව ගන අඳුරු

නෙක තරු රැසින් එලෙසට නොමවේය දුරු…’

අප සිය දෙනෙක්ට වුව ඔහු හා සමවිය නොහැකිය.

ආදරණීය ‘අසෝක ස‘ර්’…. ඔබට ජයෙන් ජය!

-ඉන්ද්‍රජිත් සුබසිංහ-