Sport

දස වන වරටත් සංවිධාන කළ චීන – දකුණු ආසියානු වෙළඳ සහ අපනයන ප්‍රදර්ශනය කුන්මින් නගරයේදී ආරම්භ කෙරුණා…..

දස වන වරටත් සංවිධාන කළ චීන – දකුණු ආසියානු වෙළඳ සහ අපනයන ප්‍රදර්ශනය කුන්මින් නගරයේදී ආරම්භ කෙරුණා…..
  • PublishedJune 10, 2026

10 වන චීන-දකුණු ආසියානු වෙළඳ ප්‍රදර්ශනය චීනයේ කුන්මින් නගරයේදී ඊයේ (11) අති උත්කර්ෂවත් අයුරින් ආරම්භ කෙරුණා. ශ්‍රී ලංකාවට මෙන්ම සමස්ත දකුණු ආසියානු කලාපයට ම ඉතා වැදගත් ආර්ථික සන්ධිස්ථානයක් ලෙස සැලකෙන එම ප්‍රදර්ශනයට ආසියානු රටවල් රැසක ඉහළ පෙළේ රාජ්‍යතාන්ත්‍රිකයන් රැසක් එක්ව සිටීම විශේෂත්වයක්. ලොව ප්‍රධානතම වෙළඳ සහ අපනයන ප්‍රදර්ශනයක් ලෙස සැලකෙන මේ සඳහා අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ඇතුළු නිලධාරින් පිරිසක් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක්ව සිටියා. මේ දිනවල චීනයේ මාධ්‍ය හා සංස්කෘතික සහයෝගිතා වැඩසටහනකට එක්ව සිටින දේශීය මධ්‍යවේදීන් කණ්ඩායමටත් මෙම වෙළඳ ප්‍රදර්ශනය සමඟ එක් වන්නට අවස්ථාව සලසා දී තිබීම කැපී පෙනෙන කරුණක්.

චීනය සෑම අංශයකින් ම ප්‍රබල ශක්‍යතාවන් සහිත රාජ්‍යයකි. එවැනි රටක ආර්ථිකය සමඟ සුසංයෝග වෙමින් කටයුතු කිරීමට දකුණු ආසියාතික රටවලට ලැබෙන මෙම අවස්ථාව ආර්ථික වශයෙන් පමණක් නොව, දේශපාලනික වශයෙන් ද වැදගත් බවයි මෙම වෙළඳ ප්‍රදර්ශනයේ ශ්‍රී ලංකා සම්බන්ධීකාරක අනුර බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ.සංවර්ධනයේ අරුණළු සොයා යන ශ්‍රී ලංකාව වැනි රටවලට චීන වෙළඳපොළේ නව අවස්ථා විවර කරගැනීමට මෙමගින් හැකියාව ලැබී තිබෙන බවත්, ප්‍රදර්ශනය වසරින් වසර නව මානයන් ලෝකයට විවර කර දෙන බවත් පැවසූ අනුර බණ්ඩාර මහතා එහි නිසි ඵල නෙළා ගැනීමට ශ්‍රී ලංකාව වැනි රටවල් කටයුතු කළ යුතු බවද වැඩිදුරටත් ප්‍රකාශ කළා.

ප්‍රසාරණය වන ගෝලීය වෙළඳපොළ තුළ මෙම ප්‍රදර්ශනය මගින් තවදුරටත් දකුණු ආසියාව ලෝකයට විවර වන අතර ජාත්‍යන්තර වෙළඳපොළට පිවිසෙන නවක ව්‍යවසායකයන්ට චීන-දකුණු ආසියානු වෙළඳ සහ අපනයන ප්‍රදර්ශනය අනගි අවස්ථාවක් ලෙසයි ආර්ථික විචාරකයින් පෙන්වා දෙන්නේ.

චීන – දකුණු ආසියානු 10 වන වෙළඳ ප්‍රදර්ශනය සහ 30 වන චීන (කුන්මින්) ආනයන සහ අපනයන ප්‍රදර්ශනය – 2026 සඳහා වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ, වෙළෙඳ අමාත්‍යංශයේ ලේකම් කේ. ඒ. විමලේන්තිරරාජා ඇතුළු පිරිසක් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වුණා. චීනයේ කුන්මින් නුවර ඩියැන්චි ජාත්‍යන්තර සම්මේලන හා ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී පැවැත්වෙන මෙම දැවැන්ත ප්‍රදර්ශනය ලබන 16 වැනිදා තෙක් පැවැත්වෙනවා.ලෝකයේ රටවල් 60 කට වැඩි සංඛ්‍යාවක ආයෝජකයන්, ප්‍රදර්ශකයන් සහ ආයතන සහභාගී වන මෙම ප්‍රදර්ශනය සඳහා මෙවර ලාංකික අපනයනකරුවන් 100 කට ආසන්න සංඛ්‍යාවක් ඇතුළුව ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 200 කට වැඩි පිරිසක් එක්ව සිටීම කැපී පෙනෙන කරුණක්. මෙහිදී සහභාගී වන ව්‍යවසායකයන් වෙනුවෙන් ශ්‍රී ලංකා වාණිජ දෙපාර්තමේන්තුව විසින් නොමිලේ ප්‍රදර්ශන කුටි පහසුකම් සලසා දී තිබීම විශේෂත්වයක්. ලොව දෙවන විශාලතම ආනයන වෙළෙඳපොළක් සහිත චීන වෙළෙඳපොළට සෘජුවම ප්‍රවේශවීමට මේ හරහා ශ්‍රී ලංකාවට අවස්ථාව සැලසෙන අතරම , ශ්‍රී ලංකාවේ තේ, කුරුඳු, කුළුබඩු, මැණික්, ආයුර්වේද නිෂ්පාදන, ආහාර හා ඇඟලුම් වැනි සාම්ප්‍රදායික නිෂ්පාදන සඳහා නව ගැනුම්කරුවන් සොයා ගැනීමට මංපෙත් විවර වන සුවිශේෂී අවස්ථාවක් ලෙස මෙම ප්‍රදර්ශනය හැඳින්විය හැකි බවයි අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කළේ. ශ්‍රී ලංකාව සහ චීනය අතර ඈත අතීතයේ පටන් පැවත එන වෙළඳ වාණිජ සහ ආර්ථික හුවමාරු සංකල්පයන් වඩාත් වැඩි වර්ධනය කරමින් නූතන ලෝකයේ වෙළඳපලට පිවිසීම සඳහා ශ්‍රී ලාංකිකයන්ට මහඟු අවස්ථාවක් මෙයින් උදා වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා . ජාත්‍යන්තර වෙළඳපල තුළ පවතින ආයෝජන අවස්ථාවන්, නව නීති රීතීන්, නිෂ්පාදන ක්‍රියාවලීන් තුළ තිබිය යුතු ප්‍රමිතිගතභාවය ඇතුළු බොහෝ කරුණු ඉගෙන ගැනීමට මෙම ප්‍රදර්ශනය තරුණ ව්‍යවසායකයන්ට ලැබෙන මහඟු අවස්ථාවක් බවත් අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ශ්‍රී ලංකා මාධ්‍ය කණ්ඩායම හමුවේ ප්‍රකාශ කළා.

විසි දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා මාධ්‍ය කණ්ඩායම මෙම සංචාරය සඳහා එක්ව සිටින්නේ දකුණු සහ අග්නිදිග ආසියාව සඳහා වූ යුනාන් ජාත්‍යන්තර සන්නිවේදන මධ්‍යස්ථානයේ ආරාධනයෙන් සහ ශ්‍රී ලංකා – චීන සමාජ හා සංස්කෘතික සහයෝගිතා සංගමයේ සභාපති, ශ්‍රී ලංකා චීන මිත්‍රත්ව තානාපති ඉන්ද්‍රානන්ද අබේසේකර මහතාගේ සම්බන්ධීකරණයෙන්.