Other Sports

චීන සංස්කෘතික දිනය සමරමින් වූෂු සංදර්ශනයක්.

චීන සංස්කෘතික දිනය සමරමින් වූෂු සංදර්ශනයක්.
  • PublishedDecember 4, 2025

ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කාර්යාලයේ මැදිහත්වීමෙන් සහ ශ්‍රී ලංකා වූෂු සම්මේලනය විසින් සංවිධානය කරන ලද “චීන සංස්කෘතික දිනය – වුෂු ප්‍රසංගය” ඊයේ දින (3දා) කොළඹ එල්ෆින්ස්ටන් රඟහලේදී පැවැත්විණි.
​තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවය සඳහා ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong මහතා ද සහභාගී විය.

මෙහි දී අදහස් දැක් වූ​තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යවරයා පැවසුවේ, වුෂු යනු හුදෙක් ක්‍රීඩාවක් නොව “සමගිය, සමබරතාවය සහ ඔරොත්තු දීමේ හැකියාව” මත පදනම් වූ දර්ශනයක් බවයි. මෑතකදී ඇතිවූ ‘දිට්වා’ සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් ශෝකය පළ කළ අමාත්‍යවරයා, මෙම දුෂ්කර අවස්ථාවේදී ශ්‍රී ලංකාවට ලබා දුන් කඩිනම් සහයෝගය වෙනුවෙන් චීන රජය වෙත සිය කෘතඥතාව පළ කළේය. ක්‍රීඩාව නිරෝගී, ශක්තිමත් සහ විනයගරුක සමාජයක් ගොඩනැගීමට දායක වන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

චීන තානාපතිවරයා මෙහි දී පැවසුවේ, චීන ජනතාව ශ්‍රී ලංකාවේ ජනතාවගේ සැබෑ මිතුරන් ලෙස සැමවිටම ඔවුන් සමඟ සිටින බවයි. ආපදා සහන කටයුතු සඳහා චීන රජය සහ චීන සංවිධාන විසින් ඇමරිකානු ඩොලර් මිලියනයකට (US$ 1,000,000) වැඩි මුදලක් සහ සහන සැපයුම් ලබා දුන් බව ද ඒ මහතා පැහැදිලි කළේය. තවද, ආපදා වැළැක්වීම සහ හදිසි ප්‍රතිචාර වැනි ක්ෂේත්‍රවල ශ්‍රී ලංකාව සමඟ සහයෝගීතාව වැඩි දියුණු කිරීමට චීනය සූදානම් බවද තානාපතිවරයා පැවසීය.

​මෙම වුෂු ප්‍රසංගය චීන සංස්කෘතිය මූර්තිමත් කරන බවත්, එය දෙරට අතර මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීමටත්, ජනතා සම්බන්ධතා ගැඹුරු කිරීමටත් උපකාරී වනු ඇතැයි තානාපතිවරයා විශ්වාසය පළ කළේය.

​මෙම ප්‍රසංගය මගින් චෙන්-විලාසිතාවේ තායි චි, නව කොටස් සහිත කසය, සාන්ඩා සටන් සහ තායි චි ෆෑන් වැනි විවිධ වුෂු ශිල්පීය ක්‍රම නිරූපණය කරන ලදී.