National Youth Sports fest 2025 ආරම්භ වෙයි.
ජාතික තරුණ සේවා සභාව සංවිධාන කරන National Youth Sports fest 2025 යෞවන ක්‍රීඩා උළෙල දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීර්ණයේ දී අද (19දා) ආරම්භ වුනා. කතානායක ජගත් වික්‍රමරත්න මහතාගේ හා තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිදු සමන් හෙන්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ජාතික තරුණ සේවා සභාවේ සභාපති, අධ්‍යක්ෂ ජෙනරාල් සුපුන් විජේරත්න මහතා ඇතුළු ආරාධිතයන් රැසකගේ සහභාගීත්වයෙන් සමාරම්භක උළෙල පැවැත්වුණා.
මෙහි දී අදහස් දැක්වූ තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිදු සමන් හෙන්නායක මහතා පැවසුවේ ආපදා තත්ත්වයෙන් පසු රට ගොඩනැගිය හැකි තාරුණ්‍යය සිටින්නේ ලංකාවේ ශක්තිමත්ම ස්වේච්ඡා තරුණ ව්‍යාපාරය වන Youth Club සතුව බවයි.
එම තාරුණ්‍යය සමග එක්ව මෙරට ගොඩනැගීමේ වගකීම භාරගෙන ඇති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා. ක්‍රීඩාව තුළින් ගොඩනැගෙන සාමූහිකත්වය, සහකම්පනය සහ ක්‍රියාශීලි බව ඒ සදහා උපකාරී වනු ඇති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.
මෙම අවස්ථාවේ දී අදහස් දක්වමින් තරුණ සේවා සභාවේ සභාපති, ශ්‍රී ලංකාවේ තරුණ කටයුතු පිළිබද අධ්‍යක්ෂ ජෙනරාල් නීතිඥ සුපුන් විජේරත්න මහතා ටෙනිස් ක්‍රීඩිකා සෙරීනා විලියම්ස් කළ ප්‍රකාශයක් උපුටාගනිමින් පැවසුවේ දක්ෂතාවය යනු හැම තරගයක්ම ජයග්‍රහණය කිරීම නොව, තමන් ඇද වැටුණු කල කෙතරම් ඉක්මනින් නැගී සිටිය හැකි ද යන්න මැන බැලීම බවයි. එබැවින් මේ මොහොතේ දී ආපදා තත්ත්වයෙන් නැවත නැගී සිටිම පිළිබදව අප ද සිතා බැලිය යුතු බවත්, National Youth Sports fest 2025 පැවැත්වීමට තීරණය කළේ රටක් ලෙස නැවත නැගී සිටීමේ පියවරක් ලෙස බවත් ඔහු සදහන් කලා.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණාරච්චි, ජාතික යෞවන සමාජ සම්මේලනයේ ලේකම් මිථිල ගිහාන් ප්‍රියසාද් ඇතුළු ජාතික තරුණ සේවා සභාවේ නිලධාරින්, යෞවන සමාජ සම්මේලනයේ නිලධාරින්, ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා තරුණ තරුණියන් විශාල පිරිසක් එක්ව සිටියහ.
තරගාවලියේ ජවන හා පිටිය මලල ක්‍රීඩා තරග හෙට සහ අනිද්දා දෙදීන පැවැත්වීමට නියමිතයි.






