Lanka Ride 2026 Day 2 update
තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය සංවිධාන කරන ලංකා රයිඩ් පාපති සවාරියේ දෙවන අදියර අද අනුරාධපුරයේදී නිමාවට පත්වුණා. මහනුවරින් ආරම්භ වුණු අද දිනයේ දක්ෂතම ක්‍රීඩකයා බවට පත්වෙමින් ප්‍රථම ස්ථානය දිනා ගන්නට නාවික හමුදා පාපැදි ක්‍රීඩා සමාජය නියෝජනය කරන පී. ප්‍රභාත් මදුසංක සිල්වා සමත් වුණා.දෙවන ස්ථානය හිමි කරගත්තේ ඩයමන්ඩ් රයිඩර්ස් ක්‍රීඩා සමාජයේ සජිත් මදුරංගයි.තෙවන ස්ථානය සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව නියෝජනය කළ චතුරංග සොයිසා දිනාගත්තා.
අද අදියරේ සිව්වන ස්ථානය දෙහිවල ගල්කිස්ස නගර සභා කණ්ඩායම නියෝජනය කළ ගිහාන් ලක්මාල් හිමිකර ගනිද්දී පොලිස් ක්‍රීඩා සමාජයේ සඳරුවන් කුමාරසිංහ අද තරඟයේ පස්වෙනියා ලෙස තරඟය නිමා කළා.
අද අදියරේ තිළිණ ප්‍රධාන අවස්ථාවට අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී භාග්‍ය ශ්‍රී හේරත් මහතා, අනුරාධපුර නගරාධිපති, ප්‍රවීණ පාපැදි ක්‍රීඩකයෙක් සහ ජාත්‍යන්තර පාපැදි විනිසුරුවරයෙක් වන එන්. කරුණාරත්න මහතා, පළාත් භාර පොලිස් ප්‍රධානීන් ඇතුළු තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන් සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් එක්ව සිටියා.
තරගයේ තෙවන සහ අවසන් අදියර හෙට අනුරාධපුරයේ සිට කොළඹ දක්වා පැවැත්වීමට නියමිතයි.
Lanka Ride පාපැදි සවාරියේ දෙවන දිනය අද (17 දා) උදෑසන 9ට ගන්නෝරුව කෘෂි පර්යේෂණ ආයතනය අසල දී ආරම්භ වුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්.එම අවස්ථාවට මහනුවර නගරාධිපති චන්ද්‍රසිරි විජේනායක මහතා, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් අරුණ බණ්ඩාර මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එක්ව සිටියා.
මෙහි දී අද තරඟය ආරම්භ වීමට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී තනුර දිසානායක මහතා අතින් ඊයේ පළමු අදියරේ ජයග්‍රහකයින්ට ජය සංකේත ප්‍රදානය සිදු කෙරුණා. ඒ අනුව ප්‍රථම ස්ථානය දිනාගත් ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායමේ එච්.ඩබ්ලිව්.එම්.එස් පින්තු , හොඳම කඳු නගින්නා සහ වේගවත්ම ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායමේ ඒ.ඩී.එස් පෙරේරා ,වයස අවුරුදු 23 න් පහළ හොඳම තරුණ පාපැදි ක්‍රීඩකයා ලෙස ජාඇල ෆ්ලෑෂ් කණ්ඩායමේ දේශාන් කවින්ද, සිව්වන ස්ථානය දිනාගත් දෙහිවල නගර සභා කණ්ඩායමේ සුරංග රණවීර ඇතුළු ක්‍රීඩකයන්ට අද අදියර ආරම්භයට පෙර තිළිණ ප්‍රධානය සිදුකෙරුණා.





