කෙළිබිම හැරගිය සදාතනික මතකය – Yogananda Wijesundaea
යෝගානන්ද විජේසුන්දර නාමය ශ්‍රී ලාංකේය මලල ක්‍රීඩාව තුළ තවමත් නොමැකී ඇතත්, ඒ පෞරුෂවත්, අභිමානවත්, අති විශිෂ්ට මලල ක්‍රීඩා පුහුණුකරුවෙකු හා මලල ක්‍රීඩාවේ ප්‍රාමාණික විද්වතෙකු වූද ,ජාතික ක්‍රීඩා විද්‍යායතනයේ හිටපු අධ්යක්ෂ “ආදරණීය යෝගා”තම ජීවිතයෙන් සදහටම සමගෙන මේ ගෙවෙන්නේ හත්වන වසරයි. “යෝගා” පිළිබඳ මතකය මෙලෙස අනාගත පරපුරට ඉතිරි කරන්නට කල්පනා කළේ එවන් පරිපූර්ණ මිනිසෙකු නැවත බිහිවන කාලයක් පෙනෙන තෙක් මානයක නොමැති බැවිනි……
මිණිකැට මතුවන සශ්‍රීක රුවන්පුරයේ, ගැටහැත්ත ඉලුක්පිටිය ගම්මානයේ, දේශීය වෙදකමේ බලය ගම්මානයටම බෙදා දුන් වෙද මහතාගේ බාල පුතු තම පියාණන්ගෙන් උරුමකරගත්තේ වෙදකම නොව යහ ගුණ දම් පිරුණු මනුසත්කමයි. ගමේ ස්වභාව සෞන්දර්යයේ අපූර්ව පහසින් නිරතුරුව රසවත්වුණු ළමා කාලයකට උරුමකම් කියූ මේ පුංචි කොලු ගැටයා ඇල දොල, ලදු – ඕවිටි -කඳු බෑවුම් සියල්ල තම ජීවිතයට පාඩමි කියා දෙන සිප් බිමක් කරගන්නට සමත් වුණා. මිදුලේ ඉනි කිහිපයක් සිටුවා එය මතින් දුවන්නට පුරුදු පුහුණු වුණු මේ පුංචි දරුවා පසුකාලීනව ක්‍රීඩකයෙක්, ක්‍රීඩා පුහුණු කරුවෙක්, ක්‍රීඩා උපදේශකවරයෙක් සහ ලොවක දැනුමින් නිරන්තර දැනුවත් වූ සාඩම්බර ක්‍රීඩා අධ්‍යාපන ගුරුවරයෙක් මෙන්ම ක්‍රීඩා පරිපාලකයෙක් වනු ඇතැයි කිසිවෙක් සිතන්නට නැතුවාට කිසිම සැකයක් නොමැත. 2019 වසරේ නොවැම්බර් 14 වෙනිදා පෙරවරුවේ තම ජීවන ගමන නිමා කළ ඔහු නමින් යෝගානන්ද විජේසුන්දර නම් වන්නේය.
”යෝගා” තවත් ලෙසකින් හ`දුන්වාදෙනවානම් ඇවිදින විශ්ව කෝෂයක් ලෙස දැක්විය හැකි ක්‍රීඩා විශාරදයෙකි.
1943 දෙසැම්බර් 26 වෙනිදා ඉලුක්පිටිය ග්‍රාමයේදී උපත ලද යෝගානන්ද විජේසුන්දර මූලික අධ්‍යාපන කඩඉම් පසු කලේ ඉද්දමල්ගොඩ ප්‍රාථමික විද්‍යාලයෙන්. ඇහැලියගොඩ මධ්‍ය මහා විද්‍යාලයේදී වොලිබෝල් සහ මලල ක්‍රීඩකයෙක් ලෙස ක්‍රීඩාවේ නව මාවත් සොයා ගිය යෝගා, තම සහෝදරයාගේ චිත්‍ර ශිල්පීය දක්ෂතා ඔස්සේ මනස මෙහෙයවා කැන්වසය මත තෙළිතුඩ මෙහෙයවන්නටත්, රළු බොරලු ක්‍රීඩා පිටියේ අභියෝග හඹාගොස් ජයග්රහණයන් ලබා ගන්නටත් එකවිට උත්සහ කළේ දෛර්යයවන්ත රණකාමියෙකු ලෙස යෞවනයේ වරම් දිනා ගනිමින්.

අන්තර් පාසැල් වොලිබෝල් තරග ඉතිහාසයේ පිට පිටම පන්දුව පිරිනැමීමෙන් ලකුණු 12 ක් ලබා වාර්තාවක් පිහිටුවා තිබූ ඬේවිඞ් ගොඩමුණේගේ පුහුණු කාරීත්වයෙන් පාසැල් වොලිබෝල් පිටියේ වීරයෙක් ලෙස නමක් දිනාගත් යෝගා 1962-63 වොලිබෝල් තරග සමයේදී තම පුහුණුකරුගේ වාර්තාව බිදිමින් පිට පිටම පන්දුව පිරිනමමින් ලකුණු 14 ක් ලබා පාසැල් වොලිබෝල් පිටියේ නව වාර්තාවක් පිහිටුවීම විශේෂ සිදුවීමක් වේ.
පාසැල් මලල ක්‍රීඩාවට පිවිසෙමින් පාසලේ සහ කලාපයේ දක්ෂතම මැදිදුර ධාවකයෙක් බවට පත්වුණු යෝගා 1963 වසරේදී රත්නපුරයේ පැවැති මධ්‍ය විදුහල් සහ මහා විදුහල් අතර පැවැති මලල ක්‍රීඩා තරගාවලියකට එක් වූයේ රටක් රාජ්‍යයක් දිනූ තරමේ සතුටකිනි. එදා මීටර 800 ධාවන ඉසව්වට සහභාගී වුණු යෝගා එම තරගයෙන් දෙවන ස්ථානය දිනා ගත්තේ සැවොම පුදුම කරවමින්ය. නමුත් පළමු ස්ථානය දිනා ගැනීමට නොහැකී වූ ලතැවිල්ල යෝගාගේ හිත හොල්මන් කරද්දී විදුහලේ ක්‍රීඩා ගුරුවරයා යෝගාව රැගෙන ගොස් මීටර 400 කඩුලු පැනීමේ ඉසව්වට සහභාගී කරවූයේ කිසිවෙකුත් බලාපොරොත්තු නොවුණුු ලෙසින්. නමුත් ඒ තරගය නිමවෙද්දී ”යෝගා” මහත් අභිමානයක් හදවතට තුරුඵ කර ගනිමින් අධ්‍යාපන කළාපයේ කඩුලු පැනීමේ ශූරයා ලෙස කිරුඵ පැළදීම කැපී පෙනෙන කරුණක්.
රංජිත් වීරසේන, එස්.එල්.බී.රෝසා, ඩබ්. විමලදාස, සුනිල් ජයවීර, වැන්නන් හා එක්වෙමින් ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ක්‍රීඩා සමාජයක් වූ ”ඒස්” ක්‍රීඩා සමාජයේ සාමාජිකත්වය ලබා ගත් යෝගාට 1966 වසර වන විට ජාතික මට්ටමේ කඩුලු පැනීමේ ශූරයෙකු වීමේ භාග්‍යය උදාවී තිබුණි. එදා මුල්ම වරට මීටර 110 කඩුලු මතින් දිවීමේ ජාතික තරගයකදී තුන්වෙනියා වුණු යෝගා, එම දක්ෂතාවය හේතුවෙන් ආසියානු ක්‍රීඩා උළෙලට නම් කළ ශ්‍රී ලංකා සංචිතයටද එක් වන්නට වරම් දිනාගත්තේය. ඉන්දියාවේ පැවැති තරගාවලියකදී සුනිල්-විමලදාස වැන්නන් සමග එක්ව මීටර 400 සහය දිවීමේ ඉසව්වේ රන් පදක්කම ශ්‍රී ලංකාවට දිනා දෙන්නට සමත්වුණු යෝගා 1970 වසර වන විට මීටර 110 කඩුලු පැනීමේ ජාතික ශූරයා වී තිබීමත් ඔහුගේ හැකියාවන් ඔප්පුකර පෙන්වන්නට සමත්වුණා.
1968 වසරේදී බණ්ඩාරවෙල ක්‍රීඩා නිලධාරී ලෙසින් රාජකාරී ජීවිතය ආරම්භ කළ යෝගා, හොකී හා පාපන්දු ක්‍රීඩාවට වෙන්ව තිබුණු බදුල්ල හා බණ්ඩාරවෙල ක්‍රීඩාංගණවලට මළල ක්‍රීඩක ක්‍රීඩිකාවන් කැදවාගෙන ආවේ අලුත් ක්‍රීඩක පරම්පරාවක් බිහිකරමින්. දියතලාව යුධ හමුදා කඳවුරේ සේවය කළ රෝසා – විමලදාස හා විමලසේන පෙරේරාගේ උදව් ලබාගත් යෝගා එම අත්දැකීම් අලුත් පරම්පරාවකට ලබා දෙන්නට මහත් වෙහෙසක් ගනු ලැබිණ. රුපියල් 280 ක මාසික වැටුපකට තම තරුණ දිවියම කැපකළ යෝගා එහි ප්‍රතිඵලය ලෙස ජීවිතයට තුරුඵ කරගත්තේ ක්‍රීඩා කුසලතා ඔප් නංවාගත් ප්‍රදේශයේ දරු පරම්පරාව වීම විශේෂත්වයකි.
මේ කැප කිරීම් නිසාවෙන්ම 1972 වසරේදී නැගෙනහිර ජර්මනියේ ක්‍රීඩා ශිෂ්‍යත්වයක් දිනූ යෝගා නැවත මව්බිමට පා තැබුවේ පිරිපුන් ක්‍රීඩා පුහුණුකරුවෙකු ලෙසිනි. එතැන් සිට සිය දැනුම, ක්‍රීඩාවේ නිවැරදි තාක්ෂණයට මුසු කළ යොගා, ක්‍රීඩාවේ නියත හැකියාවන් සගවාගෙන සිටි ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිය දහස් ගණනකගේ ශක්තිය හා ජවය ක්‍රීඩාවේ ජයග්‍රාහී ඉලක්ක වෙත යොමු කරන්නට පෙරමුණ ගත් අයුරු ප්‍රශංසනීය වේ. ක්‍රීඩාව වෙනුවෙන් කළ කැපකිරීම් නිසාම නැවත වරක් ක්‍රීඩා පශ්චාත් උපාධියකට ශිෂ්‍යත්වයක් දිනා ජර්මනියට ගිය යෝගා දිවයිනට පා තැබුවේ ක්‍රීඩාව පිළිබදව පශ්චාත් උපාධියක් දිනූ ප්‍රථම ශ්‍රී ලාංකිකයා ලෙස විරුදාවලි ලබමිනි.
තමන් ලබා ගත් දැනුම සැඟවීමකින් තොරව බෙදා දුන් යෝගා, ක්‍රීඩා අධ්‍යාපන ආයතනයක අවශ්‍යතාව නිරන්තරව කතා කරන්නට, බලධාරීන් හා තර්ක කරන්නට උත්සාහ කළේ වරක්, දෙවරක් නොවේ. එහි ප්‍රතිඵල සාර්ථක කරගත් යෝගා, මෙරට ජාතික ක්‍රීඩා විද්‍යායතනය පිහිටුවීමට පෙරමුණ ගත්තා පමණක් නොව එහි පළමු අධ්යක්ෂවරයා ලෙස රාජකාරී ආරම්භ කළේ ජර්මන් ක්‍රීඩා විශ්ව විද්‍යාලයේ අත්දැකීමත්, ක්‍රීඩාව පිළිබද හසල දැනුමත්, දේශීය ක්‍රීඩාව තුළ යාවත්කාලීන කිරීමේ ඒකායන බලාපොරොත්තුවකිනි.
හරි දේ හරි ලෙසත්, වැරදි දේ වැරදි ලෙසත් නොබියව, නොපැකිලිව පෙන්වාදුන් යෝගා ක්‍රීඩා අමාත්‍යවරයාගේ පටන් පහල සේවකයා දක්වා සෑම දෙනාගේම යුතුකම්, වගකීම්, හරි වැරදි සෘජුව පෙන්වා දුන්නේ පුද්ගල මතවාද පසෙකලා ක්‍රීඩාවේ දියුණුව උදෙසාම බව රහසක් නොවේ. මැති ඇමතිවරුන් ඉදිරියේ දනින් වැටී යදින්නෙකු හා පුලන්නෙකු නොවීම නිසාම බොහෝ දේ අහිමි කරගත් ”යෝගා” රාජකාරිය දේවකාරියක් ලෙස ඉටුකළ බව ක්‍රීඩාවට සම්බන්ධ සියල්ලෝම පිළිගන්නා කරුණක් වේ.
ක්‍රීඩක ක්‍රීඩිකාවන්, පුහුණු කරුවන්, හා ක්‍රීඩා පරිපාලකයන් පමණක් නොව ක්‍රීඩා මාධ්‍යවේදීන් වන අපටද ”යෝගා” දැක්වූයේ පුදුමාකාර ලෙන්ගතුකමකි. නොදන්නා යමක් විමසූ කල දශක කිහිපයකට අපව රුගෙන යමින් මුඵ ලෝකයේම දැනුම එක් තැන් කරගන්නා යෝගා එය පැහැදිලි කළ ආකාරය, ඊට අත්දැකීම් හා උදාහරණ ගෙන හැර දැක්වූ ආකාරය අපට කිසිදා අමතක කළ නොහැකි කරුණක් වේ. තම පෞද්ගලික කීර්තිය, ජනප්‍රියත්වය හෝ ලාභ අපේක්ෂාවන්, වරප්‍රසාද, වරදාන ඉල්ලා කිසිදා හඩ නොනැගූ යෝගා ඒ සියල්ල සිදු කළේ රට වෙනුවෙන් වීම ගෞරවයෙන් සිහිපත් කළ යුතු කරුණකි.
ජීවන ගමනේ 75 වෙනි කඩඉමෙහි පසුවුණු යෝගා මහනුවර තම නිවසේ සිය ජීවිතයේ අභියෝගාත්මක කාලයකට පා තබා සිටියේ රෝගී බව සම්පූර්ණයෙන්ම අමතක කරමින්. ක්‍රීඩා පිටියට, ක්‍රීඩක පරපුරට සහ ක්‍රීඩා අධ්‍යාපනයට සිය ජීවිතයම කැප කළ යෝගා කිසිදා තම ජීවිතය පිළිබදව, ලෙඩ රෝග පිළිබදව හෝ බෙහෙත් හේත් පිළිබදව උනන්දු නොවීම අවාසනාවකි. මිය යන්නට සති කිහිපයකට පෙර දුරකතනයෙන් කතා කළ අවස්ථාවේ මා සමගින් අපහසුවෙන් කතා කළ යෝගා පැවසුවේ නැවතත් ක්‍රීඩා පිටියට එන්නට, ඇවිදින්නට, දුවන්න,පනින්නට තමන් කැමැත්තෙන් සිටින බවයි. නමුත් දෛවය යෝගාට එම අවස්ථාව ලබා නොදීමට තරම් කුරිරු වීම අවාසනාවකි.
ක්‍රීඩාවේ හසල බුද්ධිමතෙක් සහ වියතෙක් ලෙස ශ්‍රී ලාංකීය ක්‍රීඩා පිටියට ආලෝකයක් එක් කළ, ක්‍රීඩාවේ නවමු කඩඉම් සොයා ගිය අපේ කාලයේ වීරවරයෙක් ලෙස අවිවාදිත යෝගානන්ද විජේසුන්දර
මහතාණෙනි……. ඔබ පිළිබඳ ආදරණීය මතකය සදා අනුස්මරණීයයි…
නුවන් උදාර කරුණාරත්න