Cricket International

ඉතාලියේ නාපෝලි නගරයේ ශ්‍රී ලාංකීය ක්‍රිකට් අභිමානය ‘Napoli Knights’ ක්‍රීඩා සමාජය සහ නව පුහුණු විකට්ටුව විවෘත කෙරේ

ඉතාලියේ නාපෝලි නගරයේ ශ්‍රී ලාංකීය ක්‍රිකට් අභිමානය ‘Napoli Knights’ ක්‍රීඩා සමාජය සහ නව පුහුණු විකට්ටුව විවෘත කෙරේ
  • PublishedDecember 13, 2025

ඉතාලියේ නාපෝලි නගරයේ වෙසෙන ශ්‍රී ලාංකික ක්‍රිකට් ලෝලීන්ගේ දිගුකාලීන සිහිනයක් යථාර්ථයක් බවට පත් කරමින්, “Napoli Knights Cricket Club” (Napoli Knights CC) ක්‍රීඩා සමාජය නිල වශයෙන් විවෘත කිරීම සහ නව පුහුණු විකට්ටුව (Practice Wicket) ක්‍රීඩක අයිතියට පත් කිරීමේ උත්සවය 2025 දෙසැම්බර් මස 07 වන දින අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

නාපෝලි නගරයේ Via Lattanzio 46, 80126, Napoli දරන ස්ථානයේ ස්ථාපිත මෙම නව ක්‍රීඩා සමාජය, ඉතාලියේ ශ්‍රී ලාංකිකයින්ට ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වීමට ලැබුණු අගනා තෝතැන්නකි.

මහා සංඝරත්නයේ සහ ගරු පියතුමන්ගේ සෙත් පිරිත් හා ආශිර්වාද මැද ආරම්භ කළ මෙම සුවිශේෂී අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූයේ ඉතාලි ක්‍රිකට් ඉතිහාසයේ දශක 04ක් පැරණි වාර්තාවක් බිඳ හෙලමින් ශ්‍රී ලාංකික නාමය ජාත්‍යන්තරයට ගෙන ගිය, ඉතාලියේ රෝයල් පාදුවා (Royal Padova) ක්‍රීඩා සමාජයේ ප්‍රධාන පුහුණුකරු මනෝජ් රොද්‍රිගෝ මහතායි.

මෙහිදී සමාජය වෙනුවෙන් සිදුකළ සේවය ඇගයීමට ලක් කරමින් විශේෂ සමරු ඵලක දෙකක් මනෝජ් රොද්‍රිගෝ මහතා වෙත Napoli Knights CC හි සභාපති සුධීර චමිත් මහතා අතින් ද, Signor Guido De Novelli වෙත අයේෂා මහත්මිය විසින් ද පිරිනැමීය.

නාපෝලි නගරයේ ශ්‍රී ලාංකික ප්‍රජාව අතර ගෞරවාදරයට පාත්‍ර වූ ප්‍රවීණ ගුරුවරයෙකු වන සේනක අදිකාරි ගුරුතුමා ද මෙම අවස්ථාවට එක් විය. හුදෙක් ක්‍රීඩකයින් ලෙස පමණක් නොව, යහපත් මිනිසුන් ලෙස සමාජය තුළ නැගී සිටින ආකාරය පිළිබඳව එතුමා ලබා දුන් වටිනා උපදෙස් සහ මඟ පෙන්වීම කණ්ඩායමේ ඉදිරි ගමනට විශාල අත්වැලක් විය.

අනාගත ක්‍රිකට් තරු බිහිකිරීමේ අරමුණින් ඉදිකළ නව පුහුණු විකට්ටුව (Practice Wicket) විවෘත කිරීමේ අවස්ථාව ද මෙම භූමියේදීම සනිටුහන් විය. කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු එම්.කේ. සුභාෂ් මහතා විසින් ප්‍රථම පන්දුවට පහර දෙමින් (First ball batting) පුහුණු කටයුතු නිල වශයෙන් ආරම්භ කරන ලදී.

මෙහිදී කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන දිලිනි ක්‍රීඩිකාව විසින් ඉතා විශ්වාසයෙන් යුතුව පන්දු යවන ආකාරය (Bowling action) කාගේත් පැසසුමට ලක් වූ අතර, එය ක්‍රීඩා සමාජයේ අනාගතය පිළිබඳ සුබ ලකුණක් විය.

Napoli Knights ක්‍රීඩා සමාජය ඉදිරියට ගෙන යාම සඳහා වත්මන් සභාපති: සුධීර චමිත් මහතා, උප සභාපති: විරාජ් ප්‍රසන්න මහතා, ලේකම්: අරුණ ශාන්ත විදාන පතිරණගේ මහතා, ප්‍රධාන පුහුණුකරු: එම්.කේ. සුභාෂ් මහතා, මාධ්‍ය කළමණාකරු: චානි කුමාරි මහත්මිය එක්ව සෙසු සාමාජිකයින් සමඟ කැපී පෙනෙන මෙහෙයක් සිදු කරනු ඇත.

ඒ අතර F.E.LI.C.E ආයතනයේ නිලන්ති ස්ටෙලා මහත්මිය, Ceylon Agenzia ආයතනයේ යොහාන් සඳරුවන් මහතා, Rasanga Service ආයතනයේ මංගල මහතා ඇතුළු අනුග්‍රාහකයන් වෙත උපහාර ප්‍රධානය කිරීම හා ඔවුන්ගේ දායකත්වය අගයමින් Napoli Knights නිල ටී-ෂර්ට් (Official T-shirts) ප්‍රදානය කිරීම ද මෙහිදී සිදු කෙරිණි.

ජයග්‍රාහී හෙටක් වෙනුවෙන් එකාවන්ව පෙළ ගැසෙන Napoli Knights ක්‍රිකට් සමාජය, නව නිලධාරී මණ්ඩලයේ මගපෙන්වීම යටතේ ඉතාලිය තුළ ශ්‍රී ලාංකීය ක්‍රිකට් සන්නාමය ඉහළටම ඔසවා තැබීමට සූදානමින් සිටී.

නවක ක්‍රීඩකයින් ඇතුලත් කර ගැනීම සහ වැඩිදුර තොරතුරු සඳහා සභාපති සුධීර චමිත් මහතා +39 327 017 7464 දුරකතන අංකයෙන් හෝ එහි වට්ස්ඇප් හරහා හෝ සම්බන්ධ කර ගත හැක.