ශ්‍රී ලාංකේය “අපරාජිත පරාජිතයා” වෙනුවෙන් සමරු මුද්දරයක් නිකුත් කෙරෙයි….
1964 ටෝකියෝ ඔලිම්පික් උළෙලේදී අප්‍රතිහත ධෛර්යය හා නොපසුබස්නා උත්සාහය පෙන්වමින් ලෝක අවධානය දිනාගත් ප්‍රකට ශ්‍රී ලාංකික මලල ක්‍රීඩක රණතුංග කරුණානන්ද මහතාගේ ආදර්ශමත් චරිතය අගය කරමින් නව සමරු තැපැල් මුද්දරයක් නිකුත් කිරීම පසුගිය දා සිදු කෙරුණා.

මෙම සමරු මුද්දරය නිකුත් කිරීම හුදෙක් පුද්ගලයකු අනුස්මරණය කිරීමක් පමණක් නොව, කරුණානන්ද මහතා ලොවට තිළිණ කළ නොපසුබස්නා උත්සාහයේ සහ විනයගරුක මානසික ශක්තියේ දර්ශනය සදාතනිකව රැකගැනීමක් ලෙසයි මෙම උත්සවයට එක් වුණු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේ. 1964 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ මීටර් 10,000 ධාවන ඉසව්වේදී අනෙකුත් තරගකරුවන් තරගය නිම කර තිබියදී පවා, තමන් ආරම්භ කළ ගමන අත්නොහැර අවසානය දක්වාම දිව ගිය එතුමා “දිරිමත් පරාජිතයා” (Courageous Loser) ලෙස ලෝකය පුරා ගෞරවාදරයට පාත්‍ර විය. ජයග්‍රහණය යනු ප්‍රථම ස්ථානය ලබාගැනීම පමණක් නොව, තමන් භාරගත් වගකීම හා ගමන ධෛර්ය සම්පන්නව අවසන් කිරීම බව එතුමා මුළු ලොවටම පසක් කර දුන්නේය.


කරුණානන්ද මහතාගේ මෙම වීර පණිවිඩය ජපානයටද බෙහෙවින් සමීප වූවක් වන අතර, ජපානයේ පාසල් පෙළපොත් පවා එතුමාගේ ජීවිත කතාව ආදර්ශයට ගනිමින් සකස් කර ඇත. මෙම මුද්දරය නිකුත් කිරීම තුළින් දෙරට අතර පවතින සංස්කෘතික හා ආත්මීය සබැඳියාව තවදුරටත් තහවුරු වේ. මහනුවරදී උපත ලද එතුමා ශ්‍රි ලංකා යුද හමුදා ඉංජිනේරු බලකාය නියෝජනය කරමින් ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් දැක්වූ දක්ෂතා අනාගත තරුණ පරපුරට මහත් ආදර්ශයකි.
මෙම අවස්ථාවට ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මහත්මිය, ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකියෝ ඉසොමාටා (H.E. Akio Isomata), තැපැල් දෙපාර්තමේන්තුවේ සහ මුද්දර කාර්යාංශයේ නිලධාරීන් මෙන්ම අභාවප්‍රාප්ත රණතුංග කරුණානන්ද මහතාගේ පවුලේ සාමාජිකයෝ සහභාගී වූහ.





