Cricket Domestic

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ විශිෂ්ටයෙකු වූ ඩී. එස්. ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ විශිෂ්ටයෙකු වූ ඩී. එස්. ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි.
  • PublishedDecember 16, 2025

ශ්‍රී ලංකාවෙන් බිහි වූ දක්ෂතම පාදග පන්දු යවන්නෙකු වන ඩී. එස්. ද සිල්වා මහතා ඊයේ (15) රාත්‍රියේ අභවප්‍රාප්ත වූ බව පවුලේ ආරංචි මාර්ග නිවේදනය කළා. මිය යන විට අසූ තුන්වන(83) වියෙහි පසු වූ ඩී එස්. ද සිල්වා මහතා පදිංචිව සිටියේ එංගලන්තේ ලන්ඩන් නුවරයි. ඔහු කෙටි කලක් රෝගාතුරව සිටි බව සඳහන්.

මෙරට පාසල් සහ ක්‍රීඩා සමාජ ක්‍රිකට් පිටිය වර්ණවත් කළ මෙතුමන් 70 දශකයේ අග භාගය වන විටත් එංගලන්තේ ප්‍රාන්ත ක්‍රිකට් තරග නියෝජනය කිරීමේ වරම් දිනාගත් සුවිශේෂී ක්‍රීඩකයෙක්. 1982 වසරේ ශ්‍රී ලංකාව ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගයට ක්‍රීඩා කරද්දී කණ්ඩායමේ සිටිය යුතුම ක්‍රීඩකයෙකු ලෙස නම් කළ ඩී.එස්. ද සිල්වා එම තරගයට කැඳවා ගත්තේත් එංගලන්තයේ ක්‍රීඩා කරමින් සිටියදී යි.

1942 ජූනි මස 11 වැනිදා ගාල්ලේ දී උපත ලැබූ දන්දෙනියගේ සෝමචන්ද්‍ර ද සිල්වා ක්‍රිකට් පිටියට අවතීර්ණ වුණේ තමන් ඉගෙන ගත් ගාල්ල මහින්ද විද්‍යාලයෙන්. පාසල් ක්‍රිකට් පිටියේ පෙන්නූ දක්ෂතා හේතුවෙන් 1975 ජුනි 07 වෙනදා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජාතික වරම් හිමිකර ගන්නට ඔහු සමත් වුණා.

ටෙස්ට් තරග 12 කට ශ්‍රී ලංකාව නියෝජනය කළ ඩී.එස්. ද සිල්වා පිතිකරුවෙකු ලෙස ලකුණු 406ක් රැස් කර ගත් අතර පාදග පන්දු යවන්නෙකු ලෙස ටෙස්ට් කඩුලු තිස් හතක් දවාගැනීමට සමත් වුණා. ඔහුගේ ටෙස්ට් පිතිකරු භූමිකාව තුළ අර්ධ ශතක දෙකක ට හිමිකම් කියන්නට ඔහු සමත් වුණු අතර ඉනිමකදී රැස්කළ වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාව හැට එකක්. ටෙස්ට් පන්දු යවන්නෙකු ලෙස තම කෙටිකාලීන ටෙස්ට් ක්‍රිකට් ජීවිතය තුළ කඩුලු තිස් හතක් දවා ගත් ඔහු එහිදී තම හොඳම පන්දු යැවීම ලෙස වාර්තාකර තිබෙන්නේ ලකුණු 59කට කඩුලු පහක් දවා ගැනීමයි. ජාත්‍යන්තර එක්දින තරග හතළිස් එකක් වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කළ ඩී.එස්. එහිදී කඩුලු 32ක් ලබාගන්නට සමත්ව තිබෙනවා. ඩී. එස්. ද සිල්වා මහතා ටෙස්ට් තරග දෙකකදී ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දී තිබෙනවා.

ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගැනීමෙන් අනතුරුව පුහුණුකරුවෙක් සහ කළමනාකරුවෙක් ලෙස ක්‍රිකට් පරිපාලනයට එක් වුණු ඩී.එස්. ද සිල්වා මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ලෙසත් තේරීම් කමිටු සාමාජිකයෙක් සහ තේරීම් කමිටු සභාපති වරයකු ලෙසත් කටයුතු කළ ප්‍රවීණ ක්‍රිකට් පරිපාලකයෙක්.