ශ්‍රී ලංකා මලල ක්‍රීඩාවට උපරිමයෙන් සහය දුන් ආසියානු මලල ක්‍රීඩා හිටපු සභාපති සුරේෂ් කල්මාඩ් මහතා අභාවප්‍රාප්ත වෙයි.
2000 වසරේ සිට 2013 දක්වා ආසියානු මලල ක්‍රීඩා සංගමයේ සභාපති ලෙස ආසියානු කලාපයේ මලල ක්‍රීඩාවට අනුපමේය මෙහෙයක් ඉටු කළ සුරේෂ් කල්මාඩි මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. තමන්ගේ සභාපතිත්වය යටතේ ආසියානු මලල ක්‍රීඩාව ශක්තිමත් කිරීම සහ එහි ප්‍රවේශයන් පුළුල් කිරීම සඳහා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළ සුරේෂ් කල්මාඩි මහතා ආසියානු ග්‍රොන් ප්‍රී තරඟාවලිය, ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා ශූරතා සහ ආසියානු ඕල්ඩ් ස්ටාර් මීට් වැනි ප්‍රධාන තරඟ රැසක් හඳුන්වා දීමට කටයුතු කළ ප්‍රවීණ පරිපාලකයෙක්. ඔහුගේ පරිපාලන කාලයේ තුළ ආරම්භ කළ එවැනි අලුත් ඉසව් හේතුවෙන් ආසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වටිනා අවස්ථා රැසක් නිර්මාණය වූ අතර අපගේ මහාද්වීපය පුරා මලල ක්‍රීඩා ප්‍රමිතිය ඉහළ නැංවීමට එය උපකාරී වූ බවයි මලල ක්‍රීඩා ප්‍රවීණයන් පෙන්වා දෙන්නේ.
ලෝක මලල ක්‍රීඩා පරිපාලනය තුළ වසර ගණනාවක්ම ආසියානු කලාප නියෝජිතයා ලෙසද කටයුතු කළ කල්මාඩි මහතා මෙම භූමිකාව හරහා, ආසියානු මලල ක්‍රීඩා ගෝලීය වේදිකාවේ ප්‍රවර්ධනය කිරීමට සහ ආසියාවේ හඬ ලොව පුරා ඇසීමට සහ ගෞරවයට පාත්‍ර වන බව සහතික කිරීමට වෙහෙස නොබලා කටයුතු කළ අයෙක්.
ඉන්දියාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ඔහුගේ ඉතා අභියෝගාත්මක වගකීම් සහ ඔහුගේ බොහෝ පොදු රාජකාරි තිබියදීත්, ඔහු සැමවිටම මලල ක්‍රීඩාව සඳහා කාලය කැප කිරීම කැපී පෙනෙන කරුණක්.
ආසියාවේ මලල ක්‍රීඩාව සඳහා ඔහුගේ කැපී පෙනෙන දායකත්වය අගයමින්, 2015 ජුනි 3 වන දින ඔහුගේ කැපවූ නායකත්වය සහ සේවය සනිටුහන් කරමින් ආසියානු මලල ක්‍රීඩා සංගමයේ සභාපති සම්මානයෙන් ඔහුට ගෞරව ප්‍රණාම පුද කරනු ලැබුවා.
2002 වසරේදී මෙරට පැවැති ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය මෙන්ම 2006 වසරේදී කොළඹදී පැවති දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සංවිධාන කිරීමේදී ශ්‍රී ලංකාවට සුවිශාල දායකත්වයක් ලබා දුන් ගෞරවනීය ක්‍රීඩා පරිපාලකයකු ලෙස සුරේෂ් කල්මාඩි මහතා හඳුන්වා දිය හැකි බවයි ශ්‍රී ලංකා මලල ක්‍රීඩා බලධාරීන් පවසන්නේ.