National Other Sports

ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් ක්‍රීඩා සංකීර්ණවල පරිපාලනය විධිමත් කිරීම සඳහා ස්වේච්ඡා කළමනාකරණ මණ්ඩල පිහිටුවීමට කැබිනට් අනුමැතිය.

ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් ක්‍රීඩා සංකීර්ණවල පරිපාලනය විධිමත් කිරීම සඳහා ස්වේච්ඡා කළමනාකරණ මණ්ඩල පිහිටුවීමට කැබිනට් අනුමැතිය.
  • PublishedJanuary 7, 2026

ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ක්‍රීඩාව ප්‍රචලිත කිරීමේ අරමුණින් 2025-2027 වර්ෂයන් තුළ ‘ක්‍රීඩා සංස්කෘතියක් බිහි කිරීම’ තේමාව ඔස්සේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

ඒ යටතේ ප්‍රධාන වශයෙන් දිවයින පුරා හඳුනාගත් ක්‍රීඩාංගන සහ ගෘහස්ථ ක්‍රීඩාංගන සංවර්ධනය කිරීමටත්, දිවයින පුරා පාසල් ක්‍රීඩාපිටි හා මහජන ක්‍රීඩාංගන සංවර්ධනය කිරීමටත් අපේක්ෂා කරයි.

යෝජිත ව්‍යාපෘතියේ ප්‍රතිඵලයක් ලෙස නැගී එන ක්‍රීඩකයින්ගේ දක්ෂතා තවදුරටත් තාක්ෂණානුකූලව වැඩිදියුණු කිරීමට සහ ඔවුන්ට දෛනික පුහුණු කටයුතුවල යෙදීමට හැකි වන පරිදි ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ක්‍රීඩා සංකීර්ණ යොදා ගැනීමට සැලසුම් කර තිබේ.

එම ක්‍රීඩා සංකීර්ණ වඩාත් ඵලදායීව භාවිත කරමින්, පුළුල් සේවාවක් ලබා දීමට හැකි වන පරිදි ඒවායේ සංවර්ධනය හා පරිපාලනය විධිමත් කිරීම, නඩත්තුව සහ ආරක්ෂාව සඳහා එක් එක් ක්‍රීඩා සංකීර්ණය සඳහා ස්වේච්ඡාවෙන් කටයුතු කරනු ලබන සාමාජිකයින් පස්දෙනෙකුගෙන් සමන්විත කළමනාකරණ මණ්ඩලයක් බැගින් පිහිටුවීම සඳහා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබාදී තිබේ.

ඒ අනුව ප්‍රදේශයේ විද්වතුන්, ප්‍රජා නායකයින් හෝ වෙනත් ඕනෑම අයුරකින් සමාජ හා ක්‍රීඩා සංවර්ධනයට දායකත්වයක් දක්වන පුද්ගලයින් අතරින් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නම් කරන සාමාජිකයින් පස් දෙනෙකුගෙන් මෙම මණ්ඩලය පත් කෙරේ. එලෙස නම් කරන ලද පුද්ගලයන් අතරින් අයෙක් සභාපතිවරයා ලෙස නම් කෙරෙන අතර, මෙම මණ්ඩලයේ ලේකම් ලෙස ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් පත්කරන ලද ස්ථාන භාර නිලධාරී කටයුතු කරයි.

පත් කරනු ලබන මණ්ඩලයේ කාලය වසර තුනක් වන අතර, එහි සාමාජිකයින් එම මණ්ඩලයේ අරමුණුවලට හෝ කටයුතුවලට බාධා පමුණුවයි නම් පෙර දැනුම් දීමකින් තොරව ඔවුන් ඉවත් කිරීමේ බලය අමාත්‍යවරයා සතු බව මීට අදාළව ඉදිරිපත් කළ කැබිනට් සංදේශයේ සඳහන්ය.