ලෝක කැරම් කණ්ඩායම් පිරිමි අනුශූරතාව ශ්‍රී ලංකාවට. ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට තෙවැනි ස්ථානය.
මාලදිවයිනේදී පැවැති 7 වැනි කැරම් ලෝක තරගාවලියට එක් වූ ශ්‍රී ලංකා පිල, කණ්ඩායම් පිරිමි අංශයේ අනුශූරතාව සහ කාන්තා අංශයේ තෙවැනි ස්ථානය දිනාගන්නට සමත් වුණා.
තරගාවලියේ කණ්ඩායම් ඉසව්වේ පිරිමි අංශයේදී අවසන් මහා තරගය ඉන්දියාව සමගින් ක්‍රීඩා කළ අතර එහිදී කණ්ඩායම් නායක සහීඩ් හිල්මි සහ අනාස් අහමඩ් දැඩි තරගයක් ලබාදුන් නමුත් පසුගිය වසරේ මෙන්ම මෙවරද ශ්‍රී ලංකාවට අනුශූරතාව හිමිකරදෙමින් ශූරතාව දිනා ගැනීමට ඉන්දීය ක්‍රීඩකයින් සමත් වුණා. එහිදී කණ්ඩායම් නායක සහීඩ් හිල්මි සහ අනාස් අහමඩ් ඒකල තරග සඳහා සහභාගී වූ අතර නිශාන්ත ප්‍රනාන්දු සමගින් කවීන් නිම්නෙත් යුගල තරග අංශයට තරග වැදුණා.
කාන්තා කණ්ඩායම් ඉසව්වේ ඉකුත් වසරේ ලෝක කුසලාන අනුශූරියන් වන ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් මූලික වටය යටතේ මාලදිවයින හමුවේ ලද බලාපොරොත්තු නොවූ පරාජය හේතුවෙන් ඔවුනට අවසන් පූර්ව තරගය ඉන්දියාව සමගින් යෙදුණු අතර එහිදී ජය හිමිකරගනිමින් ඉන්දිය පිල අවසන් තරගයට අවස්ථාව ලබා ගත්තා. තෙවැනි ස්ථානය සඳහා ඇමෙරිකාව සමග පැවති තරග වටයේදී ඇමරිකාව පරාජය කරමින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ තෙවැනි ස්ථානය හිමි කරගන්නටයි සමත් වුණේ. ටශ්මිලා කාවින්දි සහ තරුශි හිමහන්සිකා ඒකල තරග අංශයත්, කණ්ඩායම් නායිකා ජෝශප් රොශිටා සමගින් නිපුනි දිල්රුක්ෂි යුගල අංශයත් නියෝජනය කළ අතර එහිදී ඉන්දීය ජාතික ශූරිය මෙන්ම මෙවර ඒකල ශූරිය වූ ඉන්දියාවේ එල්. කීර්තනා පරාජය කිරීමට ටෂ්මිලා සමත් වීම කැපී පෙනෙන කරුණක්. ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක් ජාත්‍යන්තර කැරම් තරගයක කේවල තරගයකින් ඉන්දීය ක්‍රීඩිකාවක් පරාජය කළේ වසර 9කට පසුව වීම විශේෂත්වයක්.
තරගාවලියේ අවසන් දිනය වූ පෙරේදා (6 වැනිදා) පැවැති ඒකල තරග ඉසව්වේදී ටශ්මිලා කාවින්දි කාන්තා අංශයේ සිව්වැනි ස්ථානය හිමිකර ගත්තාය. අවසන් පූර්ව තරගයේදී ටශ්මිලාට ප්‍රතිවාදිනිය ලෙස නැවතත් එල්. කීර්තනා හමු වූ අතර එහිදී කීර්තනා ජයගැනීම විශේෂත්වයකි. ඒ සමගින් ලෝක කුසලානක කාන්තා ඒකල අවසන් මහා තරගයට පිවිසි පළමු ක්‍රීඩිකාව වීමේ අවස්ථාව ටශ්මිලාට මගහැරිණි.