Other Sports

නවසීලාංකීක  කරාතේ ඇකඩමියේ 7 වන වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය උත්කර්ෂවත් අන්දමින් ඕක්ලන්ඩ් නුවරදී

නවසීලාංකීක  කරාතේ ඇකඩමියේ 7 වන වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය උත්කර්ෂවත් අන්දමින් ඕක්ලන්ඩ් නුවරදී
  • PublishedFebruary 20, 2026

නවසීලන්ත ජාතික කරාතේ සම්මේලනයට අනුබද්ධ, ශ්‍රී ලාංකික දූ දරුවන්ගෙන් පමණක් සමන්විත “නවසීලාංකික  කරාතේ ඇකඩමිය” විසින් සංවිධානය කරන ලද 7 වන වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය සහ කරාතේ සංදර්ශනය මෙවරත් උත්කර්ෂවත් අන්දමින් ඕක්ලන්ඩ් නුවරදී පැවැත්වුණි.

මෙම උත්සවයේදී 2025 වර්ෂය පුරා පළාත්, ජාතික හා ජාත්‍යන්තර තරගාවලීන්හි දක්ෂතා දැක්වූ ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත සම්මාන හා කුසලාන ප්‍රදානය කරන ලදී.

“වර්ෂයේ නැගී එන කරාතේ ක්‍රීඩකයා/ක්‍රීඩිකාව”, “වර්ෂයේ දක්ෂතම කරාතේ ක්‍රීඩකයා/ක්‍රීඩිකාව” සහ “වර්ෂයේ විශිෂ්ටතම කරාතේ ක්‍රීඩකයා/ක්‍රීඩිකාව” යන විශේෂ සම්මාන සඳහා වටිනා කුසලාන හා සහතිකපත් පිරිනමන ලදී.

වසර 17ක් පුරා නවසීලන්තයේ ශ්‍රී ලාංකික දූ දරුවන්ගේ කරාතේ උන්නතිය වෙනුවෙන් කැපවී සිටින මෙම ඇකඩමිය ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් බිහිකර ඇති අතර, පසුගිය වසර 17 තුළ සමස්ත පදක්කම් 1,528ක් (රන් 439, රිදී 504, ලෝකඩ 585) දිනාගෙන තිබේ.

මෙම ඇකඩමියේ ප්‍රධාන උපදේශකවරයා වන සෙන්සේ ධම්මික අරියරත්න මහතා ලෝක කරාතේ සම්මේලනයේ (WKF) A ශ්‍රේණියේ සුදුසුකම් ලැබූ ශ්‍රී ලාංකික සම්භවයක් ඇති එකම කරාතේ විනිසුරුවරයා ලෙසද ප්‍රසිද්ධය. ඔහු වර්තමානයේ ඔෂියනියා කලාපීය විනිසුරු මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙසද කටයුතු කරයි.

“අපගේ අරමුණ වන්නේ ශ්‍රී ලාංකික දූ දරුවන්ට ජාත්‍යන්තර මට්ටමේ කරාතේ අවස්ථා ලබාදීමයි. දරුවන්ගේ විනය, කැපවීම සහ දෙමාපියන්ගේ සහයෝගය මෙම ජයග්‍රහණවල ප්‍රධාන ශක්තියයි,” යැයි සෙන්සේ ධම්මික අරියරත්න මහතා ප්‍රකාශ කළේය.

සම්මානලාභී සියලු ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත කෙළිසර අපගේ උණුසුම් සුභ පැතුම්!


2025 වර්ෂයේ විශිෂ්ට කරාතේ සම්මාන ලැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්

වයස 5–7
කාන්තා – ඔනෙලි සොයිසා
පිරිමි – ක්‍රිශ්වරාජ් මයුරරාජ්

වයස 8–9
පිරිමි – අකේන් කුලසිංහ
කාන්තා – කියාරා විජේරත්න

වයස 10–11
පිරිමි – මයෝන් මුණසිංහ
කාන්තා – ගයෙලි කුලසිංහ

වයස 12–13
පිරිමි – නිර්මිත් අතපත්තු
කාන්තා – ඉරුෂි විජේසිංහ

වයස 14–15
පිරිමි – අධිත මහරඹ
කාන්තා – අමල්‍යා නිම්සාධි

වයස 16–17
පිරිමි – ජයන්දු අත්තනායක

වයස 18 සහ ඊට වැඩි
පිරිමි – චාමර සඳරුවන්


2025 වර්ෂයේ වැඩිම රන් පදක්කම් ලැබූ විශිෂ්ට ක්‍රීඩිකාව

ගයෙලි කුලසිංහ – රන් පදක්කම් 10ක්