ජාතික ඔලිම්පික් කමිටුවේ මහ සභාව මාර්තු 14 වෙනිදා.ජස්වර් ඇතුළු තිදෙනෙකුට ඔලිම්පික් මහ සභාව තහනම් කරමින් ලිපියක්.
ජාතික ඔලිම්පික් කමිටුවේ මහ සභාව මාර්තු 14 පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කොට තිබියදී , ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාර්, ජාතික ජිම්නාස්ටික් සංගමයේ උප සභාපති ආර්.ඒ. කපිල ජීවන්ත සහ චන්දන ලියනගේ යන තිදෙනාට එම මහ සභා රැස්වීමට සහභාගීවීම තහනම් වන බව ජාතික ඔලිම්පික් කමිටු සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා විසින් ඔවුන් වෙත ලිඛිතව දැනුම් දී තිබෙනවා. ජාතික ඔලිම්පික් කමිටු ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම හා ඊට අදාළව විනය විරෝධී හැසිරීම් සම්බන්ධයෙන් ඔවුනට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශන පැවැතීම පාදක කරගනිමින් මෙම තහනම පනවා ඇති අතර ඒ අනුව ඔවුන් තිදෙනාට ඉදිරියේදී යෙදෙන ජාතික ඔලිම්පික් කමිටු නිලවරණය සඳහා ඉදිරිපත්වීමටද අවස්ථාවද අහිමි වන බවයි අදාළ ලිපියේ කරුණු අනුව දක්වා තිබෙන්නේ.
ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ බැංකු ගිණුම සම්බන්ධයෙන් පදනම් විරහිත ප්‍රකාශයක් එම ගිණුම පවත්වාගෙන යනු ලබන බැංකුව වෙත ඉදිරිපත් කරමින් එම ගිණුම තාවකාලිකව අක්‍රිය කිරීමට කටයුතු කිරීමත් එම හේතුවෙන් ඔලිම්පික් කමිටුව මුහුණදුන් මූල්‍ය හැසිරවීමේ අපහසුතා, ඔලිම්පික් කමිටුවේ කීර්ති නාමයට එයින් සිදුවූ හානිය සහ එම හැසිරීමේ ව්‍යවස්ථා විරෝධී බව ආදිය චෝදනා බවට පත්කරමින් මොවුන් තිදෙනාට එරෙහිව ජාතික ඔලිම්පික් කමිටුවේ විනය කමිටුව මේ වන විට විමර්ශනයක් ආරම්භ කොට තිබෙනවා.
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව සහ ආසියානු ඔලිම්පික් කමිටුව ඒකාබද්ධව ඉකුත් දා මෙරටට කරන ලද ලිඛිත දැනුම්දීම අනුව ජාතික ඔලිම්පික් කමිටුවේ ක්‍රියාකාරීත්වය යටතේ දැනට විමර්ශනයන්ට ලක්ව සිටින එහි සාමාජිකයෙක් හෝ නිලධාරියෙක් වේ නම් ඔලිම්පික් ව්‍යාපාරයේ යහපාලන මූලධර්ම සහ සදාචාරාත්මක ප්‍රමිතීන් අනුව ජාතික ඔලිම්පික් කමිටුව විසින් කැඳවනු ලබන මහ සභා රැස්වීම් සඳහා සහභාගීවීම හෝ ඉදිරි නිලවරණයක් සඳහා තරග කිරීම ආදිය තහනම් බව සඳහන්.
මෙම තහනම පනවා ඇති තිදෙනා විසින් නියෝජනය කරනු ලබන ජාතික සංගම් හෝ සම්මේලන අදාළ විශේෂ මහ සභාව වෙත සහභාගීවීම සම්බන්ධයෙන් මෙම තහනමේ කිසිදු බලපෑමක් නොවන අතර එම ජාතික සංගම් හෝ සම්මේලන විසින් මොවුන්ගෙන් පරිභාහිරව තම සාමාජිකයන් තිදෙනකු මහ සභාව සඳහා සහභාගී කළ යුතු බවද එම තහනම ප්‍රකාශයට පත්කිරීමේ ලිපිය මගින් අවධාරණය කර තිබෙනවා.