National Other Sports

තුන් ප්‍රයාම ක්‍රීඩාව නංවාලීමේ නව සැලැස්මක්….

තුන් ප්‍රයාම ක්‍රීඩාව නංවාලීමේ නව සැලැස්මක්….
  • PublishedJanuary 23, 2026

තුන් ප්‍රයාම ක්‍රීඩාව නංවාලීමට සහ ක්‍රියාශීලී ජීවන රටාවක් ප්‍රවර්ධනය කිරීමට තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය IRONMAN 70.3 Colombo සමඟ අත්වැල් බැඳගනී.

තුන් ප්‍රයාම ක්‍රීඩා (Endurance Sports) සඳහා ජීවිත කාලය පුරාම සහභාගී වීම දිරිමත් කිරීම සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා පද්ධතිය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට ඔසවා තැබීමේ අරමුණින්, තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය සහ IRONMAN 70.3 Colombo ජාත්‍යන්තර ක්‍රීඩා ඉසව්ව අතර උපායමාර්ගික සහයෝගීතාවයක් ක්‍රීඩා අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදී.

මෙම මාධ්‍ය හමුව සඳහා තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය එස්. අච්චුදන් මහතා, ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ප්‍රියන්ත ඒකනායක මහතා, Serendib Multisport (Pvt) Ltd අධ්‍යක්ෂ සහ IRONMAN 70.3 Colombo තරඟ අධ්‍යක්ෂ රජන් තනනායගම් මහතා සහ එහි පාපැදි හා ධාවන පථ අධ්‍යක්ෂ යසාස් හේවගේ මහතා එක්ව සිටියා.

2018 සහ 2019 වසරවලදී සාර්ථකව පැවැත්වූ IRONMAN 70.3 Colombo, වසර හයක විරාමයකින් පසු 2026 දී නැවතත් ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමටයි කටයුතු සැලසුම් කොට තිබෙන්නේ. මෙවර රටවල් 45 කට අධික සංඛ්‍යාවකින් සහභාගීවන්නන් සහ ආධාරකරුවන් 1,000කට ආසන්න පිරිසක් පැමිණීමට නියමිත අතර ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් ද ඊට එක්වනු ඇත.

ශ්‍රී ලංකාව මුහුණ දෙන දියවැඩියාව සහ හෘද රෝග වැනි බෝ නොවන රෝග සඳහා විසඳුමක් ලෙස පිහිනීම, පාපැදි පැදීම සහ දිවීම වැනි විඳදරාගැනීමේ ක්‍රීඩා ප්‍රවර්ධනය කිරීම මෙහි ප්‍රමුඛ අරමුණකි. මෙම සහයෝගීතාවය හරහා ක්‍රීඩා වෛද්‍ය විද්‍යාව සහ ජාත්‍යන්තර ආරක්ෂක ප්‍රමිතීන් පිළිබඳ දැනුම හුවමාරු කර ගැනීමටත්, විශ්වවිද්‍යාල සිසුන් සහ යොවුන් බලකාය සඳහා ස්වේච්ඡා අවස්ථා නිර්මාණය කිරීමටත් බලාපොරොත්තු වේ.

ගරු අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා මෙහිදී අදහස් දක්වමින්, “IRONMAN හරහා ක්‍රීඩාව යනු වයස් භේදයකින් තොරව ජීවිත කාලය පුරාම නිරත විය හැකි දෙයක් බව තහවුරු වන අතර, මෙය ශ්‍රී ලංකාව කෙරෙහි ඇති ජාත්‍යන්තර විශ්වාසය ප්‍රකාශ කිරීමක්” බව පැවසීය.