ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සම-සත්කාරකත්වය දරන ICC පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රාහී කුසලානය මෙරට ප්‍රදර්ශනය කරමින් සිදු කෙරෙන සංචාරය නිල වශයෙන් ආරම්භ කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ආරම්භ වුණා.
අද සිට 24 වෙනිදා දක්වා දින හතරක් දිවයිනේ ප්‍රධාන නගර කිහිපයකදී මෙය ප්‍රදර්ශනය කෙරෙන අතර, කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ශ්‍රී ලංකා– එංගලන්ත එක්දින තරගය අතරතුරදී ක්‍රීඩා ලෝලීන්ට මෙම රන් කුසලානය සමීපව දැකබලා ගැනීමට අවස්ථාව ලබාදී ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ.
මෙම සංචාරය මහනුවර, දඹුල්ල සහ යාපනය යන නගර කරා ගමන් කිරීමට සැලසුම් කර ඇති අතර, එම ප්‍රදේශවල වෙසෙන ක්‍රීඩා ලෝලීන්ටද ලෝක කුසලානය සමඟ සමරු ඡායාරූප ලබා ගැනීමට සහ එය දැකබලා ගැනීමට අවස්ථාව සලසා දී තිබෙනවා.
ලෝක කුසලාන තරගාවලියක් මෙරට පැවැත්වීමට පෙර ඒ සඳහා උද්‍යෝගය සහ ප්‍රේක්ෂක අවධානය ඉහළ නැංවීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණයි.
ICC පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පෙබරවාරි 07 වන දා සිට මාර්තු 08 වන දා දක්වා පැවැත්වීමට නියමිතයි.
2012 වසරේ පවත් වන ලද පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසු ශ්‍රී ලංකාව සත්කාරකත්වය දරන දැවැන්තම තරගාවලිය වන්නේ මෙම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියයි.





