National

රුමේෂ් තරංගගේ අතීත මතක සැමරුම් අනාගතයට සංරක්ෂණය කෙරේ.

රුමේෂ් තරංගගේ අතීත මතක සැමරුම් අනාගතයට සංරක්ෂණය කෙරේ.
  • PublishedOctober 9, 2026

ලොව අංක එකේ හෙල්ල විසි කිරීමේ ශූරයා බවට පත්වුණු රුමේෂ් තරංගගේ ගෞරවනීය මතකයන් බවට පත්ව තිබුණු ලොව ජයගත් හෙල්ලයන් වලට අත්වූ අවාසනාවන්ත ඉරණම ඔබට මතක ඇති. තුර්කියේ සිට මෙරටට පැමිණෙමින් සිටියදී ගුවන් යානයේදී කැඩී බිඳී ගිය එම සදාදරණීය මතකයන් මෙන්ම රුමේෂ් එම තරග වලදී පැළඳ සිටි ක්‍රීඩා ඇඳුම් ඇතුළු මතක සැමරුම් රැසක් අනාගත පරපුරට දැක බලා ගැනීම සඳහා සංරක්ෂණය කරමින් ඒවා රැකබලා ගැනීමේ වගකීම සීනිගම “ගුණ ජය සතුට පදනම” අද දිනයේදී භාරගත්තා.

කුසිල් ගුණසේකර මහතාගේ මග පෙන්වීම යටතේ ක්‍රියාත්මක සීනිගම ගුණ ජය සතුට පදනමේ කාර්යාල සංකීර්ණයේ ඉදිකර ඇති කෞතුකාගාරය තුළ එම භාණ්ඩ තැන්පත් කිරීම අද රුමේෂ් තරංග ගේ සහභාගිත්වයෙන් සිදුකෙරුණා. මේ අවස්ථාවට රුමේෂ් ගේ පවුලේ සාමාජිකයන්, පුහුණුකරු ටෝනි ප්‍රසන්න, ජාත්‍යන්තර සම්බන්ධීකාරක විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අතුල දවුලගල ඇතුළු පිරිසක් එක්ව සිටියා.

“ගුණ ජය සතුට පදනමේ” නිර්මාතෘ කුසිල් ගුණසේකර මහතා සමග එම පදනමේ මෙහෙයුම් කාර්ය මණ්ඩලයේ නිලධාරීන් රැසක් ද මේ අවස්ථාවට සහභාගි වුණා. මෙම කෞතුකාගාරය තුළ මුත්තයියා මුරලිදරන්, කුමාර සංගක්කාර, මහේල ජයවර්ධන, චමින්ද වාස් ඇතුළු ක්‍රිකට් ක්‍රීඩකයන් රැසකගේ ද අතීත මතක සැමරුම් සංරක්ෂණයට තබා තිබීම විශේෂත්වයක්. ඊට අමතරව 1996 ලෝක කුසලාන ජයග්‍රහණයේ අපූරු සිහිවටන රැසක් ද මෙම කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා තිබෙනවා. “ගුණ ජය සතුට පදනම”දිවයින පුරා ශාඛා තිස් හතරක් පවත්වාගෙන යන අතර ඒ ඔස්සේ අසරණ දරු දැරියන් හා තරුණ තරුණියන් විශාල සංඛ්‍යාවකට විවිධ අධ්‍යාපන පහසුකම් සලසා දීමටත් කටයුතු යොදා තිබෙන සමාජ සේවා ආයතනයක්. වසර 25ක අතීතයකට හිමිකම් කියන “ගුණ ජය සතුට පදනම”වසරකට දළ වශයෙන් තරුණ තරුණියන් දොළොස් දහසකට පමණ වෘත්තීය අධ්‍යාපන පුහුණුවීම් සිදු කරන බවයි කුසිල් ගුණසේකර මහතා මෙහිදී ප්‍රකාශ කළේ.