ජාතික සුපර් ලීග් කාන්තා (WNSL) T20 ක්‍රිකට් තරගාවලිය ජනවාරි 8 වෙනිදා ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කොට ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා. තරඟ කාලසටහන සහ සංචිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය (SLC) විසින් නිවේදනය කළා.
Team Blues, Team Greys, Team Greens සහ Team Reds යන කණ්ඩායම් හතර මෙම තරගාවලිය සඳහා තරග වදින අතර, Team Greens කණ්ඩායමේ නායකත්වය හසිනි පෙරේරා වෙතයි පවරා තිබෙන්නේ.විශ්මි ගුණරත්න Team Greys කණ්ඩායමේ නායිකාව ලෙස නම් කර තිබෙනවා. හර්ෂිතා සමරවික්‍රම Team Blues කණ්ඩායමට නායකත්වය ලබා දෙන අතර Team Reds කණ්ඩායමේ නායකත්වය 16 හැවිරිදි, චමුදි ප්‍රබෝධා වෙත ලබාදී තිබීම කැපී පෙනෙන කරුණක්.
පළමු වටයේදී සෑම කණ්ඩායමක්ම අනෙක් කණ්ඩායම් සමඟ තරග දෙකකට එක්වීමට නියමිත අතර, ලීග් වටය අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායම් දෙක අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබන බවයි සංවිධායකයින් පවසන්නේ. තරගාවලියේ අවසන් මහා තරගය ජනවාරි 17 වනදා කොළඹ පී. සරා ඕවල් (P. Sara Oval) ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.