Features

ආසියානු ඔලිම්පික් කවුන්සිලයේ අධ්‍යක්ෂ ජනරාල් සහ අග්‍රාමාත්‍යවරිය අතර හමුවක්

ආසියානු ඔලිම්පික් කවුන්සිලයේ අධ්‍යක්ෂ ජනරාල් සහ අග්‍රාමාත්‍යවරිය අතර හමුවක්
  • PublishedSeptember 9, 2025

මෙරට සංචාරයක නිරත ජාත්‍යන්තර ජල ක්‍රීඩා සංගමයේ සභාපති සහ ආසියානු ඔලිම්පික් කවුන්සිලයේ අධ්‍යක්ෂ ජනරාල් කපිතාන් Husain Al Musallam මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්වුණා.

මෙහිදී කපිතාන් Husain Al Musallam ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහ ක්‍රීඩා ක්ෂේත්‍රයේ දියුණුව සහ අභිවෘද්ධිය සඳහා රජය සහ ක්‍රීඩා ක්ෂේත්‍රය අතර සබඳතා ගොඩ නඟා ගැනීමේ අවශ්‍යතාව පිළිබඳව අවධාරණය කළ අතර ක්‍රීඩා නීතියට අදාළව පවතින ගැටලු විසඳීමේදී අදාළ නීති රෙගුලාසි හඳුන්වාදීමේ අවශ්‍යතාව පිළිබඳව ද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නා.

සෞඛ්‍යට මෙන්ම පාසල් දරුවන්ගේ සහ ප්‍රජාවගේ යහපැවැත්ම සඳහා ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමේ වැදගත්කම පැහැදිලි කළ අග්‍රාමාත්‍යවරිය, ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ප්‍රමුඛත්වය දෙමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ආරක්ෂා කිරීම, දූෂණය මුලිනුපුටා දැමීම සහ ක්‍රීඩාවේ කාන්තා සහභාගීත්වය වැඩි කිරීම කෙරෙහි රජයේ විශේෂ අවධානය යොමු වී ඇති බවයි අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ. අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ ඉදිරියේදී සාකච්ඡා කර ජල ක්‍රීඩා ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරන බව ද අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් මෙහිදී අවධාරණය කළා.

මෙම අවස්ථාවට ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතාද එක්ව සිටියහ.

මේ අතර ජනරාල් හුසේන් අල්-මුසල්ලාම් මහතා සහ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අමාත්‍යවරයා අතරත් විශේෂ හමුවක් පැවැත්වුණා.


මෙම හමුවේ දී 2026 වර්ෂයේ දී ආසියානු ඔලිම්පික් සමුළුව ලංකාවේ දී පැවැත්වීමට කටයුතු කිරීමට බලාපොරොත්තුවන බවත්, පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඉලක්ක කරගනිමින් සියලුම දරුවන්ට පිහිනීම පුරුදු කිරීමේ අරමුණින් වැඩසටහනක් දියත් කිරීමට ඇති සැලසුම් පිළිබඳව සාකච්ඡා කළ අතර, ජංගම පිහිනුම් තටාක ලබා දීමට අධාර ලබා දීමට ද ආසියානු ඔලිම්පික් කවුන්සිලයේ අධ්‍යක්ෂ ජනරාල් හුසේන් අල්-මුසල්ලාම් මහතා එකඟතාවය පළ කිරීම විශේෂත්වයකි.

ක්‍රීඩා නීති සම්පාදනය කිරීම පිළිබඳව සහ ජාත්‍යන්තර පිහිනුම් තටාකයක් මෙරට තුළ ඉදි කිරීම පිළිබඳවත් වැඩිදුරටත් සාකච්ඡා කළ අතර වත්මන් ආණ්ඩුව මඟින් මෙරට තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත ‘sport tourism – ක්‍රීඩා සංචාරක ව්‍යාපාරය’ වෙනුවෙන් උපරිම සහයෝගය ලබා දෙන බව ද ආසියානු ඔලිම්පික් කවුන්සිලයේ අධ්‍යක්ෂ ජනරාල් හුසේන් අල්-මුසල්ලාම් මහතා පැවසුවා.